‘ශූරයින්ගේ කුසලානයට ක්‍රීඩාංගන තවමත් සූදානම් නැහැ’ – ඉන්දීය මාධ්‍යයේ චෝදනාවට පාකිස්තානයෙන් ප්‍රබල පිළිතුරක්

Date:

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා යොදා ගැනීමට නියමිත පාකිස්තානයේ ක්‍රීඩාංගනවල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් අවසන්ව නොතිබීම හේතුවෙන් යම් අර්බුදයක් නිර්මාණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තරගාවලිය යටතේ පාකිස්තානයේදී පැවැත්වෙන තරග ලාහෝර්, කරච්චි හා රාවල්පින්ඩි යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිත අතර, එම ක්‍රීඩාංගනවල ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් අවසන්ව නොතිබීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද කණගාටුවෙන් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

දෙසැම්බර් 31 වැනිදා වන විට ක්‍රීඩාංගනවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර අවසන් වීමට නියමිතව තිබූ නමුත්, තවමත් විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඉතිරිව ඇති බව සදහන්.

පෙබරවාරි 12 වැනිදා වන විට ක්‍රීඩාංගන සියල්ල පාකිස්තානය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත භාර දිය යුතු වනවා. පාකිස්තානය වසර 30 කට ආසන්න කාලයකට පසු සත්කාරකත්වය දරන පළමු අයි.සී.සී තරගාවලිය වන 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි 19 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ක්‍රීඩාංගනවල තත්ත්වය පරීක්ෂා කිරීම සදහා අයි.සී.සීය විසින් විශේෂ කණ්ඩායමක් පාකිස්තානය වෙත පිටත් කර හැරීමට ද සූදානමින් පසුවන බව සදහන්. නියමිත කාලය තුළ දී අයි.සී.සී ප්‍රමිතීන්ට අනුව ක්‍රීඩාංගන ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නොහැකි වුවහොත් තරගාවලිය සම්පූර්ණයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට අවධානය යොමු කෙරෙනු ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර, එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ක්‍රීඩාංගන තුනේම ප්‍රතිසංස්කරණ කටයුතු නියමිත කාලය තුළ අවසන් කිරීමට සූදානමින් පසුවන බවයි.

එමෙන්ම පෙබරවාරි 8 වැනිදා සිට මුල්තාන්හීදී පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය (නවසීලන්තය හා දකුණු අප්‍රිකාව සමගින්) ලාහෝර් හා කරච්චිහීදී පැවැත්වීමට ද පාකිස්තානය මේ වන විට තීරණය කර තිබීම විශේෂත්වයක්.

ප්‍රතිසංස්කරණය කරමින් පවතින ක්‍රීඩාංගනවල සූදානම පිළිබඳ සිය විශ්වාසය පිළිබිඹු කිරීමේ අරමුණිනුයි පාකිස්තානය එම තීරණය ගෙන ඇත්තේ.

ජනවාරි 25 වැනිදා වන විට ක්‍රීඩාංගනවල වැඩ කටයුතු අවසන් කිරීම සදහා කම්කරුවන් 250 ක පිරිසක් දිවා රාත්‍රී නොතකා කටයුතු කරමින් සිටින බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ තරගාවලිය පැවැත්වෙන නමුත්, ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග ඩුබායිහීදී පැවැත්වීමටයි මීට පෙර තීරණය කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...