මෙන්ඩිස්ගේ හා අවිශ්කගේ ශතක හමුවේ වසර 9කට පසු නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට එක්දින ජයක්

Date:

කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ නවසීලන්තය සමග දඹුල්ලේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය යටතේ ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(13) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. අනතුරුව ශ්‍රී ලංකා ඉනිම අවසන් කෙරුණු අතර, නවසීලන්තයට ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය යටතේ තරගය ජය ගැනීම සදහා පන්දුවාර 27 කදී ලකුණු 221 ක ඉලක්කයක් හිමි වුණා.

කෙසේ වෙතත්, නවසීලන්තයට පන්දුවාර 27 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 175 ක් පමණයි. මෙය වසර 9 කට පසුව නවසීලන්තය පරදා ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින තරග ජයග්‍රහනය වීම ද විශේෂත්වයක්. අවසන් වරට නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගයක් ජය ගෙන තිබුණේ 2015 වසරේ දෙසැම්බර් 31 වැනිදායි.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 88 (පන්දු 80) ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ටිම් රොබින්සන් හා විල් යන්ග් සමත් වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් කෙමෙන් කෙමෙන් දුරස් කරමින්. කෙසේ වෙතත්, 14 වැනි පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම යළි ක්‍රීඩක විවේකාගාරය වෙත හරවා යැවීමට සමත් වූ අතර, ඉන් අනතුරුව තරගයේ පාලනය ශ්‍රී ලංකාවට නතු වුණා.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ විල් යන්ග් ලකුණු 48 (46) කටත්, ටිම් රොබින්සන් ලකුණු 35 (36) කටත් දැවී ගියා. අනතුරුව සාර්ථක පිතිහරඹයක නිරත වූ එකම පිතිකරුවා වූයේ මයිකල් බ්‍රේස්වෙල් පමණයි. ඔහු පන්දු 32 කින් නොදැවී ලකුණු 34 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ ලකුණු 32 කඩුලු 2 ක් දවා ගත් අතර, චරිත් අසලංක ලකුණු 15 කට කඩුලු 2 ක් බිද හෙලුවා. ජෙෆ්රි වැන්ඩර්සේ දවා ගත් කඩුලු ගණන එකක්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි කඩුල්ලට ලකුණු 206 (215) ක වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.

සිය 4 වැනි එක්දින ශතකය වාර්තා කළ මෙන්ඩිස් ලකුණු 143 ක් රැස් කළේ පන්දු 128 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 17 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සිය සිව්වැනි එක්දින ශතකය වාර්තා කළ අවිශ්ක ලකුණු 100(115) කට දැවී ගියේ හයේ පහර 2 කින් හා හතරේ පහර 9 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

නායක චරිත් අසලංක ලකුණු 40(28) යි. පන්දු යැවීමේ දී ජේකබ් ඩෆී ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගත්තා.

මෙම ජයත් සමග ශ්‍රී ලංකාව තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, දෙවැනි තරගය එළඹෙන 17 වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...