IPL වෙන්දේසියට විසි වූ සුපිරි ඉන්දීය ක්‍රීඩකයින්ගේ මූලික වටිනාකම මෙන්න – ඇන්ඩර්සනුත් ලියාපදිංචි වෙයි

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් 1,574 දෙනා අතරට එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් ඇතුළත්ව නොමැති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ, ඔහු සිය ශාරීරික යෝග්‍යතාවය උසස් මට්ටමකට රැගෙන ඒම වෙනුවෙන් 2024 අයි.පී.එල් තරගාවලියෙන් ද ඉවත් වූ පසුබිමකයි.

ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 24 හා 25 යන දිනවලදී සෞදි අරාබියේ Jeddah හී දී පැවැත්වීමට නියමිත බවයි තරගාවලියේ සංවිධායකයින් අද(5) නිවේදනය කළේ.

දිල්ලි කැපිටල්ස් නායකයා වූ රිෂාබ් පාන්ට්, ලක්නව් සුපර් ජයන්ට්ස් නායකයා වූ කේ එල් රාහුල් හා කොල්කටා නයිට් රයිඩර්ස් නායකයා වූ ෂ්රෙයස් අයියර් යන ක්‍රීඩකයින් එළඹෙන තරග වාරය වෙනුවෙන් සිය සංචිතවල රදවා නොගැනීමට එම කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළ අතර, ඒ අනුව ඔවුන් ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් හිමි වන කාණ්ඩය යටතේ වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා.

එමෙන්ම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් නිදහස් කළ ආර් අශ්වින් හා යුස්වේන්ද්‍ර චෙහල් ද එම කාණ්ඩය යටතේම ලියාපදිංචි වී ඇති බව සදහන්. 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ආබාධ හේතුවෙන් මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා කර නොමැති මොහමඩ් ෂාමි ද ලියාපදිංචි වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයෙන්. ඔහුව සංචිතයේ රදවා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තීරණය කළේ නැහැ.

කලීල් අහ්මඩ්, දීපක් චහාර්, වෙන්කටේෂ් අයියර්, අවේෂ් ඛාන්, ඉෂාන් කිෂන්, මුකේෂ් කුමාර්, බුවනේෂ්වර් කුමාර්, ප්‍රසිද් ක්‍රිෂ්නා, ටී නටරාජන්, දෙව්දත් පඩික්කල්, කෘනාල් පාන්ඩ්යා, හර්ෂාල් පටෙල්, අර්ෂ්දීප් සිං, වොෂින්ටන් සුන්දර්, ශර්දුල් තාකූර්, මොහමඩ් සිරාජ් හා උමේෂ් යාදව් යන ඉන්දීය ක්‍රීඩකයින් ද ඇතුළත්ව සිටින්නේ ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයටයි.

පසුගියවර පැවැති වෙන්දේසියේ දී අලෙවි නොවූ ප්‍රිත්වි ෂෝ හා සර්ෆරාස් ඛාන් මෙවර වෙන්දේසියට ඉදිරිපත්ව ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මූලික වටිනාකමක් සහිත කාණ්ඩයෙන්.

පසුගිය වසරේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 24.5 ක වාර්තාගත මුදලකට මිලදී ගත් ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් මෙවර යළි වෙන්දේසියට ඉදිරිපත්ව ඇති අතර, ඔහු ද රුපියල් කෝටි දෙකක වටිනාකමක් සහිත කාණ්ඩයෙන් ලියාපදිංචි වී තිබෙනවා.

ආබාධ හේතුවෙන් අයි.පී.එල් තරග බිමේ පසුගිය කාලයේ දැකගත නොහැකි වූ එංගලන්තයේ ජොෆ්ර ආචර් ද වෙන්දේසියට ඉදිරිපත් වන්නේ රුපියල් කෝටි දෙකේ කාණ්ඩයෙන්.

2014 වසරේ සිට මෙතෙක් කිසිදු විස්සයි 20 තරගයක් ක්‍රීඩා කර නොමැති එංගලන්ත හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ද මෙවර වෙන්දේසියට ඉදිරිපත්ව සිටීම විශේෂත්වයක්. ඔහු මෙතෙක් පැවැති කිසිදු අයි.පී.එල් තරගාවලියට ද එක්ව නැහැ. ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.25 ක මූලික වටිනාකමක් යටතේ ලියාපදිංචි වී ඇති බව සදහන්.

වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සංචිතවල රදවා ගත් ක්‍රීඩක ලැයිස්තු පසුගියදා නිවේදනය කළා. එක් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකු සහිතව සිය සංචිතය සකස් කර ගැනීමට අවස්ථාව පවතිනවා. ඒ අනුව ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු අලෙවි වීමට නියමිතයි.

වැඩිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් වෙන්දේසියට ලියාපදිංචි වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්. එම සංඛ්‍යාව 91 ක්. ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් 29 දෙනෙකු වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...