“හැමදාම මේ විදිහට කරගෙන යන්න අමාරුයි, තද තීරණ ගන්න වෙනවා” කණ්ඩම්බිගෙන් අනතුරු ඇගවීමක්

Date:

මැද පෙල පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ඉදිරියේ දී දැඩි තීරණ ගැනීමට සිදු වන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

ඉන්දියාව සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 7ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

තිළිණ කණ්ඩම්බි පෙන්වා දෙන්නේ පිතිකරුවන් මීට වඩා වගකීමක් සහිතව පිතිකරණයේ නිරත වීම අතිශය වැදගත් බවයි.

“පිතිකරුවන් වශයෙන් මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනේ කියන තැන මම අනිවාර්යයෙන් ඉන්නවා. අපිට ඕනේ තරම් පුහුණු කරන්න පුලුවන්, පුහුණුවීම්වල යෙදෙන්න පුලුවන්, අපිට තොරතුරු දෙන්න පුලුවන්, හැබැයි මැදට ගියාම මම හිතන්නේ මීට වඩා ටිකක් ඔලුව කල්පනා කරලා සෙල්ලම් කරන්න ඕනේ කියලා” යනුවෙන් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු සදහන් කළා.

“මොකද මේක පළවෙනි වතාව නෙවෙයි. ඊයෙත් මේ දේම වුණා. අපිට ලෝක කුසලානයේ බංග්ලාදේශ තරගයේදීත් මේක වුණා. ඉතිං අපි ඒක ගැන කතා කරලා ඒකට විසදුම් එයාලගෙන් (අරගෙන)…, එකගවුණ සැලසුමකට තමයි අපි වැඩ කරන්නේ. හැබැයි ඒ ප්‍රතිපලය එන්නේ නෑ. මම හිතනවා ටිකක් තද තීරණ ගන්න වෙයි ඉදිරියේ දී.”   

“වසර ආරම්භයේ දී මට තිබුණ ලොක ගැටලුවක් තමයි අපි පවර්ප්ලේ එකක් ඇතුළෙදී කඩුලු 3ක් විතර වට්ටගන්න එක. ඒක හදාගෙන පැතුම් වගේ ක්‍රීඩකයෙක් සාර්ථක වෙලා කුසලුත් එයාට සහයෝගය දීලා එන අතරෙදි තමයි අපිට දැන් මේ මැද පෙල ප්‍රශ්නේ ඇතිවෙන්නේ.

“මම හිතනවා ඉන්න ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයකට වඩා ඒ වෙලාවේ එයාලා කල්පනා කරන දේ ඔලුවට යන දේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. එයාලා ගන්න තීරණ පිළිබද. අපි දිගින් දිගටම අවස්ථාව ලබා දීලා තියෙනවා. මම හිතනවා තව නවක ක්‍රීඩකයෝ ඉන්නවා අපේ සංචිතයේ. සමහරවිට අපට ආදේශ කරන්න වෙයි. ටිකක් අමාරු තීරණ ගන්න වෙනවා නැත්තම් අපිට හැමදාම මේක මේ විදිහට කරගෙන යන්න අමාරුයි.”

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි විස්සයි 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව එක් අවස්ථාවක පන්දුවාර 15 ක් අවසානයේ දී කඩුලු 2 ක් දැවී ලකුණු 130 ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වුණා. කෙසේ වෙතත්, ඉනිමේ අවසන් පන්දුවාර පහ තුළ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 7 ක් දැවී ලබා ගත්තේ ලකුණු 31 ක් පමණයි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට තිබූ අවස්ථාව අහිමි වූ අතර, නියමිත පන්දුවාර 20 අවසන් කිරීමට සිදු වූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 161 ක් ලබා ගනිමින්.

පළමු තරගයේ දී ද මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකා මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීම නිසා ජය ගත හැකිව තිබූ තරගයක් පරාජයකින් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වුණා. එම තරගයේ දී ද පන්දු 32 ක් තුළ ලකුණු 30 කට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 9 ක් දැවී යාම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...