පස් වරක් අවසන් තරගය පැරදුණු ශ්‍රී ලංකාව පළමු වරට ආසියානු ශූරතාවය දිනා ගනියි

Date:

චමරි අතපත්තු හා හර්ෂිතා සමරවික්‍රමගේ විශිෂ්ඨ සටන්කාමී පිතිහරඹය හමුවේ ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(28) සමත් වුණා.

ඒ, මෙවර කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා කඩුලු අටක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

මීට පෙර ආසියානු කුසලාන තරගාවලි පහක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබූ අතර, එම අවස්ථා පහේ දී ම ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්ව තිබුණා.

දඹුල්ලේ අද පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු හයක් දැවී ලකුණු 165 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2 ක් දැවී සිටියදීයි.

එය ශ්‍රී ලංකාව පන්දුවාර විස්සයි 20 කාන්තා තරගයක් සාර්ථක ලෙස හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න එක් ලකුණකට දුවද්දී දැවී ගියා. අනතුරුව චමරි අතපත්තු හා හර්ෂිතා සමරවික්‍රම දෙවැනි කඩුල්ලට ලකුණු 87 (63) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව සටනට අවතීර්ණ කළා.

චමරි ලකුණු 61 ක් රැස් කළේ පන්දු 43 කින්. ඒ, හයේ පහර දෙකක් හා හතරේ පහර 9 ක් සමගින්. ඇයගේ දැවී යාමෙන් පසුව ද සටන අත් නොහැරූ හර්ෂිතා හා කවීෂා දිල්හාරි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ තෙවැනි කඩුල්ලට ලකුණු 73* (40) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

මෙම තරගයේ දී දුර්වල පන්දු රැකීමක නිරත වූ හර්ෂිතා සිය පිත්තෙන් ඊට ප්‍රතිචාර දක්වමින් පන්දු 51 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 69 ක්. ඇයගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ඇතුළත් වුණා.

කවීෂා නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 30(16) ක්. හයේ පහර දෙකක් හා හතරේ පහරක් ඇයගේ ඉනිමට ඇතුළත් වූ අතර, තරගයේ ජයග්‍රාහී ඉලක්කය ද ශ්‍රී ලංකාව සපුරා ගත්තේ ඇය එල්ල කළ අලංකාර හයේ පහරකින්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...