පැතුම්ගේ අනර්ඝ ශතකය චන්දිමාල්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ අපතේ යයි

Date:

පැතුම් නිස්සංක වාර්තා කළ සිය මංගල විස්සයි 20 ශතකය අපතේ යවමින් දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් පිතිහරඹය හමුවේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා විශිෂ්ඨ හඹා යාමක් සමග කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද(9) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 224 ක් ලබා ගැනීමට සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ෆැල්කන්ස් පිල ඉනිම නිමා වීමට පන්දු 10 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි. (230/3 [18.2])

මෙය ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දී කණ්ඩායක් සාර්ථක ලෙස තරගයක් හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

කැන්ඩි ෆැල්කන්ස් හඹා යාම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 37 කින් වේගවත් ලකුණු 89 ක් වාර්තා කිරීමට සමත් වුණා. හයේ පහර 7 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 13 කටත්, මොහමඩ් හැරිස් ලකුණු 25 කටත් දැවී ගිය අතර, කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 65(36) ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 29(13) ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට වාර්තාගත ජයක් හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී ටබ්රයිස් ශම්සි ලකුණු 46 කට කඩුලු දෙකක් දවා ගත් අතර, ප්‍රමෝද් මදුෂාන් ලකුණු 33 කට කඩුල්ලක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් ඉනිම වෙනුවෙන් නිස්සංක ලකුණු 119 ක් ලබා ගත්තේ පන්දු 59 කින්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 16 ක් සමගින්.

ඔහු පන්දු 52 කින් සිය ශතකය වාර්තා කළ අතර, එය LPL ඉතිහාසයේ දී පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම ශතකයයි. එමෙන්ම පැතුම් අද වාර්තා කළ ලකුණු 119 ඉතිහාසගත වුණේ LPL තරගයකදී පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 26 ක්, රයිලි රොසෝව් ලකුණු 41 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 16 ක් රැස් කරමින් ජැෆ්නා කිංග්ස් ඉනිම ශක්තිමත් කළ අතර, පන්දු යැවීමේ දී දසුන් ශානක ලකුණු 40 කට කඩුලු 3 ක් බිද හෙලුවා. දුෂ්මන්ත චමීර හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...