ෂර්මාගේ ශතකය අපතේ යයි – මතීෂගේ සුපිරි පන්දු යැවීම හමුවේ චෙන්නායි පිලට සුපිරි ජයක්

Date:

රෝහිත් ෂර්මාගේ නොදැවුණු ශතකය අපතේ යවමින් මතීෂ පතිරණගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණයි.

මුම්බායි පිළිතුරු ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 7.1 ක් තුළ ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඉෂාන් කිෂන් හා රෝහිත් ෂර්මා සමත් වුණා.

පළමු කඩුල්ල ලෙස ඉෂාන් දැවී ගියේ මතීෂ පතිරණ මෙම තරගයේ දී යොමු කළ පළමු පන්දුවටම ශර්දුල් තාකූර් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 23(15) ක්. අනතුරුව පතිරණ යොමු කළ තෙවැනි පන්දුවේ දී සූර්යකුමාර් යාදව් ලකුණු නොලබා දැවී ගියා. ඒ, මුස්ටර්ෆිසුර් රහ්මාන් රැක ගත් අනර්ඝ උඩ පන්දුවක් හමුවේයි.

එම විශිෂ්ඨ පන්දුවාරය හේතුවෙන් යළි සටනට අවතීර්ණ වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවස්ථාව උදා වුණා.

මතීෂ මෙම තරගයේ දී සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 28 කට මුම්බායි ප්‍රබල කඩුලු 4ක් දවා ගනිමින් සුපර් කිංග්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. (දර්ශන පහතින්) තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ඔහුයි.

මුම්බායි ඉනිම ආරම්භයේ සිට අවසානය දක්වා පිටියේ රැදී සිටි රෝහිත් ෂර්මා පන්දු 63 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 105 ක්. හයේ පහර 5ක් හා හතරේ පහර 11ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. තිලක් වර්මා ලකුණු 31 යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි ඉනිම වෙනුවෙන් නායක රුටුරාජ් ගයික්වඩ් පන්දු 40 කින් ලකුණු 69 ක් රැස් කළා. ඒ, හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්. ශිවම් ඩූබේ නොදැවී ලකුණු 66යි. පන්දු 38 කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හයේ පහර 2 කින් හා හතරේ පහර 10 කින් වර්ණවත් වුණා.

හර්ඩික් පාන්ඩ්යා යොමු කළ චෙන්නායි ඉනිමේ අවසන් පන්දුවාරයේ දී පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනි පන්දු 4 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 20 ක්. තමන් මුහුණ දුන් පළමු පන්දු තුනටම හයේ පහර 3ක් එල්ල කිරීමට දෝනි සමත් වීම ද කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා ලකුණු 43 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...