ගිල්, තෙවාටියා හා රෂීඩ් රාජස්ථානයට අවසන් පන්දුවේ දී පළමු පරාජය උරුම කරයි

Date:

ෂුබ්මන් ගිල්ගේ අර්ධ ශතකය හා රෂීඩ් ඛාන් ප්‍රමුඛ ගුජරාට් ටයිටන්ස් පසුපෙල පිතිකරුවන්ගේ වේගවත් පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තමන් ලැබූ පළමු පරාජය අත්විදීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට බදාදා(10) සිදු වුණා.

ජායිපූර්හි පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ ටයිටන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 196 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ දී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි. ඒ අනුව ඔවුන් මෙම තරගයෙන් කඩුලු තුනක ජයක් හිමි කර ගත්තා.

නායක ෂුබ්මන් ගිල් ලකුණු 72 ක් රැස් කළේ පන්දු 44 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සායි සුදර්සන් ලකුණු 35 යි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 64 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

කෙසේ වෙතත්, අනතුරුව ටයිටන්ස් ඉනිමේ කඩුලු එකින් එක බිද වැටුණේ තරගයේ ජය රාජස්ථානය දෙසට නතු කරමින්.

නමුත් රාහුල් තෙවාටියා පන්දු 11 කින් ලකුණු 22 ක් ද, ශාරුක් ඛාන් පන්දු 8 කින් ලකුණු 14 ක් ද, රෂීඩ් ඛාන් පන්දු 11 කින් නොදැවී ලකුණූ 24 ක් ද ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

අවසන් පන්දුවාර දෙක තුළ තරගය ජය ගැනීමට ඔවුන්ට ලකුණු 35 ක් අවශ්‍ය වූ අතර, 19 වැනි පන්දුවාරයේ දී ලකුණු 20 ක් රැස් කිරීමට තෙවාටියා හා රෂිඩ් සමත් වුණා. ඒ අනුව අවසන් පන්දුවාරයේ දී ඔවුන්ට තරගය ජය ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 15 ක් පමණයි.

අවේශ් ඛාන් යොමු කළ අවසන් පන්දුවාරයේ දී 5 වැනි පන්දුවේ දී රාහුල් තෙවාටියා දුවද්දී දැවී ගිය අතර, අවසන් පන්දුවට ටයිටන්ස් කණ්ඩායමට ජයග්‍රහනය සදහා ලකුණු 2 ක් අවශ්‍ය වුණා. එහිදී රෂීඩ් ඛාන් තරගයේ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් සංජු සැම්සන් නොදැවී ලකුණු 68(38) ක් හා රියාන් පරාග් ලකුණු 76(48) ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ රෂීඩ් ඛාන් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 18 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...