බංග්ලාදේශය අන්ත පරාජයක් අභියස – ශ්‍රී ලංකාව ජයග්‍රහනයට කඩුලු පහක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (24) නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද සියලු බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47 ක්.

ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 464 ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමටනම් තවත් කඩුලු 5 ක් දවා ගත යුතුයි.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා. ඔහුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී ලකුණු නොලබා දැවී ගියේ මහ්මුදුල් හසාන් ජෝයි.

නායක නජ්මුල් හුසේන් ශන්තෝ ලකුණු 6 ක් ලබා සිටියදී ඉනිමේ දෙවැනි පන්දුවාරයෙන් දැවී ගියේ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේයි.

සාකීර් හසාන් ලකුණු 19 කටත්, ශහඩාට් හොසේන් හා ලිටොන් දාස් ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා. මොමිනුල් හක් නොදැවී ලකුණු 7 ක් හා තයිජුල් ඉස්ලාම් නොදැවී ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත හා ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 119 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 418 ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී මෙන්ම දෙවැනි ඉනිම වෙනුවෙන් ද ශතක වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් සමත් වීම විශේෂත්වයක්.

සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ධනංජය ලකුණු 108 කට දැවී ගිය අතර, සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබා ගනිමින් කමිදු ලකුණු 164 ක් ලබා ගත්තා.

ධනංජය ඉතිහාසගත වුණේ ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ 6 වැනි ක්‍රීඩකයා ලෙසයි. අනතුරුව කමිදු ද එම සුවිශේෂී සමාජයට එක් වුණේ අදාළ දක්ෂතාවය දැක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ 7 වැනි පිතිකරු බවට පත් වෙමින්.

ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දී ම එකම පිතිකරුවන් දෙදෙනෙකු විසින් ශතක වාර්තා කළ ටෙස්ට් ඉතිහාසයේ තෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර 1974 වසරේ දී ඔස්ට්‍රේලියාවේ ඉයන් චැපල් හා ග්‍රේග් චැපල් නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කළා. අනතුරුව 2014 වසරේ දී පාකිස්තානයේ අසාර් අලී හා මිස්බාහ් උල් හක් ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කළේ මෙහිදි හසාන් මිරාස්. ඔහු ලකුණු 74 කට කඩුලු 4 ක් දවා ගත් අතර, නහිද් රානා හා තයිජුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 280 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය ලබා ගත්තේ ලකුණු 188 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...