Ball-tracking සදහා වැරැදි දත්ත ලබා දී ඇති බව පිළිගනිමින් Hawk-Eye සමාව ඉල්ලයි

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යටතේ Quetta Gladiators කණ්ඩායම හා Islamabad United කණ්ඩායම අතර පැවැති තරගයේ දී රයිලි රොසෝව් නොදැවුණු පිතිකරුවෙකු ලෙස නම් කිරීම තම පාර්ශවයෙන් සිදු වූ වරදක් බව Hawk-Eye බලධාරීන් විසින් පිළිගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියක සදහන්ව ඇත්තේ ‘මානව වරදක්’ (human error) හේතුවෙන් රයිලි රොසෝව් නොදැවුණු පිතිකරුවෙකු ලෙස නම් වී ඇති බවයි.

ඊයේ(22) ලාහෝර් හී දී පැවැති අදාළ තරගයේ Gladiators ඉනිමේ 11 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී සල්මන් අලී ආගාගේ පන්දුවක් හමුවේ රයිලි රොසෝව් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය පිතිකරුවෙකු ලෙස විනිසුරු අලීම් ඩාර් විසින් නම් කරනු ලැබුවා.

නමුත්, පසුව රයිලි රොසෝව් විසින් එම තීරණය විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (review) (DRS) ඔස්සේ අභියෝගයට ලක් කළා.

පුනරූපනවලින් ද අදාළ පන්දුව පිට ඉන්න ප්‍රදේශයේ සිට කඩුල්ල වෙත ඇදී යන ආකාරයක් පැහැදිලිව දැක ගත හැකි වූ නමුත්, Hawk-Eye තාක්ෂණය ඔස්සේ නිරූපනය කෙරුණේ (ball-tracking) පන්දුව පිට ඉන්නෙන් පිටතට ඇදී යන ආකාරයක්. (දර්ශන පහතින්)

ඒ අනුව රයිලි රොසෝව් නොදැවුණු පිතිකරුවෙකු ලෙස නම් කිරීමට සිදු වුණා. එම අවස්ථාවේ දී පන්දු රකින්නන් මෙන්ම විනිසුරුවරයා ද දැඩි ලෙස පුදුමයට පත්ව සිටිනු දැක ගත හැකි වුණා.

මෙම සිදු වීම සම්බන්ධයෙන් තරගයෙන් පසුව Islamabad United කණ්ඩායමේ නායක ශඩාබ් ඛාන් සිය අප්‍රසාදය ද පල කළා. ඒ, තරගයෙන් United කණ්ඩායමට කඩුලු තුනක පරාජයක් අත් වූ පසුබිමකයි.

සිදු වූ වරදින් උපරිම ප්‍රයෝජන ගත් රයිලි රොසෝව් නොදැවී ලකුණු 33 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. අදාළ වැරැදී තීන්දුව ලබා දෙන අවස්ථාවේ දී ඔහු ලබා සිටියේ ලකුණු 13 ක් පමණයි.

අදාළ වරද සම්බන්ධයෙන් අදහස් දක්වමින් Hawk-Eye බලධාරීන් පෙන්වා දී ඇත්තේ සිය පද්ධතිය විසින් නිවැරැදිව පන්දුවේ ගමන් මග නිරීක්ෂණය කර ඇති බවයි. (impact – umpire’s call, wickets – hitting)

නමුත්, ක්‍රියාකරුගේ වරදක් නිසා පන්දුවේ ගමන්මගට වැරැදි දත්ත ලබා දී විකාශය කිරීම හේතුවෙන් වැරැදි තීරණයක් ලැබී ඇති බව Hawk-Eye බලධාරීන් සදහන් කර තිබෙනවා.

පන්දුවේ ගමන්මග නිරීක්ෂණය කිරීම (ball-tracking) සදහා යොදා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් අනුමත කර ඇති එකම තාක්ෂණය වන්නේ Hawk-Eye තාක්ෂණයයි.

එය 2008 වසරේ සිට විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) සදහා යොදා ගනු ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...