එංගලන්තය 122 කට දවා ගනිමින් ඉන්දියාව ටෙස්ට් ඉතිහාසයේ සිය දැවැන්තම ජය ලබයි

Date:

යශස්වි ජයිස්වාල් දෙවැනි ඉනිමේ දී වාර්තා කළ ද්විත්ව ශතකය හා රවීන්ද්‍ර ජඩේජා ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 434 ක දැවැන්ත ජයක් ලබමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(18) සමත් වුණා.

රාජ්කොට් හි පැවැති තරගය ජය ගැනීම සදහා තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී ලකුණු 557 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

මෙම තරග ජයග්‍රහනය ඉතිහාසගත වුණේ ඉන්දීය කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයේ දී වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් ටෙස්ට් තරගය ලෙසයි. එමෙන්ම කණ්ඩායමක් ටෙස්ට් තරගයක් ජය ගත් 8 වැනි ඉහළම ලකුණු පරතරය ලෙස ද මෙම ජයග්‍රහනය වාර්තා අතරට එක් වුණා.

එංගලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අංක 10 පිතිකරු වූ මාර්ක් වුඩ්. ඔහු පන්දු 15 කින් ලකුණු 33 ක් රැස් කළා. බෙන් ‍ෆෝක්ස් හා ටොම් හාර්ට්ලි ලකුණු 16 බැගින් ලබා ගත්තා. නායක බෙන් ස්ටොක්ස් ලකුණු 15 යි.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 41 කට කඩුලු පහක් දවා ගත් අතර, කුල්දීප් යාදව් කඩුලු දෙකක් බිද හෙලුවා. මෙම තරගය අතරතුර දී පවුලේ හදිසි වෛද්‍ය තත්ත්වයක් මත තරගයෙන් ඉවත් වූ රවිචන්ද්‍රන් අශ්වින් අද දිනයේ දී යළි කණ්ඩායම සමග එක් වූ අතර, ඔහු හා ජස්ප්‍රිට් බුම්රා කඩුල්ල බැගින් දවා ගත්තා.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු දෙකක් දැවී ලකුණු 196 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 430 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි පියවර ගත්තේ.

මෙම තරගාවලියේ දී වාර්තා කළ සිය දෙවැනි ද්විත්ව ශතකය ද වාර්තා කළ ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 214 ක් රැස් කළා. පන්දු 236 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 12 ක් හා හතරේ පහර 14 ක් ඇතුළත් වුණා. ඒ අනුව ටෙස්ට් ඉනිමකදී හයේ පහර වැඩිම සංඛ්‍යාවක් එල්ල කරමින් (හයේ පහර 12ක්) 1996 වසරේ දී වසීම් අක්‍රම් පිහිටුවා ඇති ලෝක වාර්තාව සම කිරීමට ද ජයිස්වාල් මෙම ඉනිමේ දී සමත් වීම කැපී පෙනුණා.

ජයිස්වාල් ඊයේ දිනයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ලකුණු 104 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට කටයුතු කළ අතර, අනතුරුව ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල අද දිනයේ දී දැවී යාමෙන් පසුවයි ඔහු යළිත් පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසෙමින් මෙම ද්විත්ව ශතකය රැස් කළේ.

ෂුබ්මන් ගිල් අද දිනයේ දී ලකුණු 91 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා. සර්ෆරාස් ඛාන් නොදැවී ලකුණු 68 යි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව රෝහිත් ෂර්මාගේ ලකුණු 131 න් හා රවීන්ද්‍ර ජඩේජාගේ ලකුණු 112 න් සවිමත් වෙමින් පළමු ඉනිමට ලකුණු 445 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 319 ක්. බෙන් ඩකට් ලකුණු 153 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් කඩුලු 4ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...