ද.අප්‍රිකාවේ 55 න් පසු ඉන්දියාවේ කඩුලු 6ක් ලකුණු 0 ට දැවී යයි ; පළමු දිනයේ දී කඩුලු 23 ක් බිද වැටෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද (3) කේප් ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය කඩුලු 23 ක් බිද වැටෙමින් අද නිමා වුණා.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 62 ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා වැඩබලන නායක ඩීල් එල්ගර් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 55 ක් පමණයි.

පිළිතුරු ලෙස ඉන්දියාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 153 ක්. ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 36 ක්.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලබා ගත් ලකුණු 55 ඉතිහාසගත වූ‌යේ දකුණු අප්‍රිකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී දැවී ගිය 8 වැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එමෙන්ම 1932 වසරෙන් පසුව දකුණු අප්‍රිකාව දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වන්නේ ද මෙම ලකුණු ප්‍රමාණයයි. එමෙන්ම ඉන්දීය කණ්ඩායමට එරෙහිව ‌කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී ලබා ගත් අවම ලකුණු ප්‍රමාණය වන්නේ ද මෙම ලකුණු සංඛ්‍යාවයි.

Kyle Verreynne ලකුණු 15 ක් හා ඩේවිඩ් බෙඩින්ග්හැම් (David Bedingham) ලකුණු 12 ක් රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් කඩුලු හයක් බිද‌ හෙලුවේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින්. ජස්ප්‍රිට් බුම්රා හා මුකේෂ් කුමාර් කඩුලු 2 බැගින් දවා ගත්තා.‍

ඉන්දීය පිළිතුරු ඉනිමේ අවසන් කඩුලු හය ලකුණු බින්දුවක් තුළ දැවී යාම කැපී පෙනුණා. ඔවුන් එක් අවස්ථාවක පන්දුවාර 33 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 153 ක් ලබා සිටි අතර, පන්දුවාර 34.5 ක් අවසානයේ දී ඉන්දියාවේ සියලු පිතිකරුවන් දැවී ගියා.

විරාත් කෝලි ලකුණු 46 ක්, නායක රෝහිත් ෂර්මා ලකුණු 39 ක්, ෂුබ්මන් ගිල් ලකුණු 36 ක් හා කේ එල් රාහුල් ලකුණු 8ක් ලබා ගත් අතර, සෙසු කිසිදු පිතිකරුවෙකු එක් ලකුණක් හෝ ලබා ගැනීමට සමත් නොවීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා, ලුන්ගි එන්ගිඩී හා නන්ඩ්‍රි බර්ගර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ දී ආරම්භක පිතිකරු ඩීන් එල්ගර් ලකුණු 12 කට දැවී ගියා. මෙය ඔහු ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගයයි. ටෝනි ද සෝර්සි හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ට්‍රිස්ටන් ස්ටබ්ස් එක් ලකුණ බැගින් ලබා සිටියදී දැවී ගියා. ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 36 ක් හා ඩේවිඩ් බෙඩින්ග්හැම් නොදැවී ලකුණු 7ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් කඩුලු 2ක් හා ජස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...