දුනිත්ගේ තුන් ඉරියව් දක්ෂතා අපතේ යයි ; ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව අවසන් තරගයට

Date:

දුනිත් වෙල්ලාලගේ දැක් වූ තුන් ඉරියව් දක්ෂතා අපතේ යවමින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ සිව්වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 41 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(12) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 213 ක් පමණයි.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 41.3 ක් අවසානයේ ලකුණු 172 කට දැවී ගියා.

ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 25 ක් තුළ බිද වැටුණා. පැතුම් නිස්සංක ලකණු 6කටත්, දිමුත් කරුණාරත්න ලකුණු 2කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 15කටත් දැවී ගියා.

අනතුරුව සධීර සමරවික්‍රම හා චරිත් අසලංක අතර ලකුණු 43 (62) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් සධීර ලකුණු 17 කට දැවී ගියා. අසලංක ලකුණු 22 යි. දසුන් ශානක රැස් කළේ ලකුණු 9ක් පමණයි.

අනතුරුව ධනංජය ද සිල්වා හා දුනිත් වෙල්ලාලගේ අතර 7 වැනි කඩුල්ල සදහා ලකුණු 63 (75) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණේ තරගය ජය ගැනීම පිළිබද ශ්‍රී ලංකාවට යළි බලාපොරොත්තුවක් එක් කරමින්.

කෙසේ වෙතත්, ධනංජය ලකුණු 41(66) කට දැවී යාමත් සමග තරගයේ පාලනය යළි ඉන්දියාවට නතු වුණා. අනතුරුව මහීෂ් තීක්ෂණ ලකුණු දෙකකටත්, කසුන් රාජිත එක් ලකුණකටත්, මතීෂ පතිරණ ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා.

දුනිත් වෙල්ලාලගේ පන්දු 46 කින් නොදැවී ලකුණු 42 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුවත් එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් ලකුණු 43 කට කඩුලු 4 ක් දවා ගත්තා. රවීන්ද්‍ර ජඩේජා හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා. ඒ, පළමු කඩුල්ල සදහා ලකුණු 80 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

කෙසේ වෙතත්, අනතුරුව දග පන්දු යවන්නන් පන්දු යැවීමට කැදවීමත් සමග ඉන්දීය ඉනිමේ බිද වැටීම ආරම්භ වුණා.

ෂුබ්මන් ලකුණු 19 කට දැවී යාමත් සමග පළමු කඩුල්ලේ සම්බන්ධතාවය බිද වැටුණු අතර, අනතුරුව විරාත් කෝලි ලකුණු 3කටත්, රෝහිත් ෂර්මා ලකුණු 53 කටත් දැවී ගියා. එම කඩුලු තුනම දවා ගත්තේ දුනිත් වෙල්ලාලගේ විසින්.සිව්වැනි කඩුල්ල සදහා කේ.එල් රාහුල් හා ඉෂාන් කිෂන් ලකුණු 63 (89) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගීමට උත්සාහ දැරුවා.

කෙසේ වෙතත්, වෙල්ලාලගේ විසින් රාහුල්ගේ කඩුල්ල ලකුණු 39 කට දවා ගැනීමත් සමග ඉන්දීය ඉනිම යළි කඩා වැටුණා.

ඉෂාන් කිෂන් ලකුණු 33ක් ද, අක්සාර් පටෙල් ලකුණු 26 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 40 කට කඩුලු 5 ක් දවා ගත් අතර, චරිත් අසලංක ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. අවසන් කඩුල්ල ලෙස අක්සාර් දවා ගත්තේ මහීෂ් තීක්ෂණ විසින්.

මෙය එක්දින තරගයකදී ඉන්දීය කණ්ඩායමේ කඩුලු දහයම දග පන්දු යවන්නන් ඉදිරියේ දැවී ගිය පළමු අවස්ථාව වීම කැපී පෙනුණා.

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් එක්දින තරගයකදී අඛණ්ඩව ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු දහයම දවා ගත් 14 වැනි තරගය බවට ද මෙම තරගය පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...