ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි (19).
දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 14 ක් ලබා සිටි අතර, දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 94 ක්.
අද දිනයට තරගය ආරම්භ වූ මොහොතේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළදී ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 80 ක් රැස් කළා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නිශාන් මදුෂංක ලකුණු 47 ක් හා දිනේෂ් චන්දිමාල් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
දිනයේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 20 කට දැවී ගියේ අබ්රාර් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේයි.
කුසල් මෙන්ඩිස් ලකුණු 18 කට දැවී ගියා. ඒ, නෝමන් අලීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්.
ඇන්ජෙලෝ මැතිව්ස් රැස් කළේ ලකුණු 7 ක් පමණයි. නෝමන් අලීගේ පන්දුවක් හමුවේම ඔහු දැවී ගියේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි බාබර් අසාම් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 122 ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 යි. පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, නසීම් ශාහ් හා අබ්රාර් අහ්මඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.
පිළිතුරු ලෙස පාකිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 461 ක්. ඒ, ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබූ පසුබිමකයි. සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් ලබා ගත්තේ පන්දු 361 කට මුහුණ දෙමින්. ශකීල්ගේ ඉනිමට හතරේ පහර 19 ක් ඇතුළත්. පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 136 ක් ලබා දෙමින්.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 55 ක්.

