ශ්‍රී ලංකාවෙන් නව ලෝක වාර්තාවක්

Date:

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(12) කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් නව වාර්තා කිහිපයක්ම අලුත් කිරීමට සමත් වුණා. එම වාර්තා අතරට ලෝක වාර්තාවක් ද ඇතුළත් වීම විශේෂත්වයක්.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 140 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14.3 ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

Match Report : චමරිගේ සුපිරි ප්‍රහාරය හමුවේ නවසීලන්තයට දරුණු පරාජයක්

චමරි අතපත්තු පන්දු 47 කින් නොදැවී ලකුණු 80 ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 13 ක් සමගින්. ඇය සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 25 කින්. 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා පිතිකාරිණියක් වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය එයයි.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 49 (40) ක් ලබා ගත්තා. ඇයගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්. 15 වැනි පන්දුවාරයේ දී ඇය හතරේ පහර 3ක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

ඇය එල්ල කළ අවසන් හතරේ පහරත් සමග ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සටහන දිස් වුණේ 143/0 ක් ලෙසයි. ඒ අනුව එය නව ලෝක වාර්තාවක් බවට පත් වුණා. ඒ, 20යි 20 ජාත්‍යන්තර කාන්තා තරගයකදී කඩුලු 10 ක ජයක් වාර්තා කළ අවස්ථාවක කණ්ඩායමක් හඹා ගොස් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ නවසීලන්තයයි. ඔවුන් 2018 වසරේ දී අයර්ලන්තයට එරෙහිව තරගයක් හඹා ගොස් කඩුලු 10කින් ජය ගත්තේ ලකුණු 142/0 ක් වාර්තා කරමින්.

චමරි අතපත්තු හා හර්ෂිතා සමරවික්‍රම පළමු කඩුල්ලට අද වාර්තා කළ ලකුණු 143* ඉතිහාසයට එක් වුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් 20යි 20 තරගයකදී ඕනෑම කඩුල්ලක් සදහා ගොඩ නැගුණු හොදම සම්බන්ධතාවය ලෙසයි.

මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් 20යි 20 පිටියේ දී ලකුණු 100 ට වැඩි සම්බන්ධතාවයක් වාර්තා වූ තෙවැනි අවස්ථාව වන අතර, එම සම්බන්ධතා 3 සදහා ම හර්ෂිතා සමරවික්‍රම එක්ව තිබීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...