සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැති දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද (12) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ජය පරාජයෙන් තොරව නිමා වුණා.
දෙවැනි හා අවසන් දිනය වූ අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 88 ක්.
ඕෂද ප්‍රනාන්දු ලකුණු 6කටත්, සදුන් වීරක්කොඩි ලකුණු 8කටත්, කමිදු මෙන්ඩිස් එක් ලකුණකටත්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 12 කටත් දැවී ගියා.
නුවනිදු ප්‍රනාන්දු නොදැවී ලකුණු 31 ක් හා නිපුන් ධනංජය නොදැවී ලකුණු 26 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.
පන්දු යැවීමේ දී අගා සල්මාන් කඩුලු 2 ක් බිද හෙලූ අතර, ශහීන් ශාහ් අෆ්රිඩි හා නසීම් ශාහ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලකුණු 160 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 342 ක් රැස් කළා.
ශාන් මසූඩ් ලකුණු 83 ක් රැස් කළ අතර, බාබර් අසාම් ලකුණු 79 ක් හා සවුද් ශකීල් ලකුණු 61 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා.
පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ ලකුණු 82 කට කඩුලු 4 ක් දවා ගත්තා. ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 89 ක් ලබා දෙමින්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 196 ක් පමණයි.
ඕෂද ප්‍රනාන්දු ලකුණු 113ක් රැස් කළා. පන්දු යැවීමේ දී ශහීන් අෆ්රිඩි හා හසන් අලී කඩුලු 3 බැගින් බිද හෙලුවා.

