නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(12) නිවේදනය කළා.
ඊට අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මෑතකදී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව පිතිකරුවන් අතර සම 29 වැනි ස්ථානය දක්වා පැතුම් නිස්සංක ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 9කින්.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වූ පැතුම් නිස්සංක ඉනිම් 8 කදී ලකුණු 417 ක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ, ශතක 2 ක් හා අර්ධ ශතක 2ක් ද සමගින්. ඉනිමක සාමාන්‍ය සටහන්ව තිබුණේ 69 ක් ලෙසයි.
තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලුලාභියා වූයේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ. ඔහු ඉනිම් 8කදී කඩුලු 21 ක් දවා ගත්තා.
නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු 19 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 13 කින්.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ වනිදු හසරංග මේ වන විට 31 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

