බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(5) සමත් වුණා.
Chattogram හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් බංග්ලාදේශ ඉනිම පන්දුවාර 43 කට සීමා කෙරුණු අතර, ඔවුන් එම පන්දුවාර සංඛ්‍යාව නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 169 ක් ලබා ගනිමින්.
Towhid Hridoy ලකුණු 51 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි කඩුලු 3 ක් බිද හෙලුවා. මුජිබ් උර් රහ්මාන් හා රෂීඩ් ඛාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පන්දුවාර 21.4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටියදී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඇෆ්ඝනිස්තානය තරගය ජය ගැනීමට ලබා ගෙන සිටිය යුතු වූ ලකුණු ප්‍රමාණය 67 ක්.
ඒ අනුවයි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 17ක ජයක් හිමි වුණේ.

