දිමුත්ගේ ශතකය හා වනිදුගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකාව සුපිරි 6 වටයට ගෙන යයි ; අයර්ලන්තය ඉවතට

Date:

දිමුත් කරුණාරත්නගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකය හා යළිත් කඩුලු 5 ක් දවා ගනිමින් වනිදු හසරංග දැක් වූ සුපිරි පන්දු යැවීම හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 15 වැනි තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 133 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා.

මෙම තරගයේ ප්‍රතිපලයත් සමග අයර්ලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ස්කොට්ලන්තය හා ඕමානය ද B කාණ්ඩයෙන් සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තා.

බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 325 ක්.

326 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට පන්දුවාර 31 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192 ක් පමණයි.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කර්ටිස් කැම්පර් ලකුණු 39 ක් රැස් කළ අතර, හැරී ටෙක්ටර් ලකුණු 33 කට දැවී ගියා. ජෝර්ජ් ඩොක්‍රෙල් නොදැවී ලකුණු 26 යි. ජොෂ් ලිට්ල් දැවී ගියේ ලකුණු 20 ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී අයර්ලන්ත ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළ වනිදු හසරංග යළි සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 79 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා. එය ඔහු අඛන්ඩව කඩුලු 5 ක් දවා ගත් (පළමු තරගයේ දී කඩුලු 6ක්) තෙවැනි අවස්ථාව වීම විශේෂත්වයක්.

කසුන් රාජිත, ලහිරු කුමාර හා දසුන් ශානක කඩුල්ල බැගින් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක අතර ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. පැතුම් ලකුණු 20 කට දැවී ගියා. අනතුරුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් ද දවා ගැනීමට Barry McCarthy සමත් වීම විශේෂත්වයක්.

පසුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 168 (159) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට දිමුත් සමග පිටියේ එක් වූ සධීර සමරවික්‍රම සමත් වුණා. සධීර අද රැස් කළේ සිය තෙවැනි එක්දින අර්ධ ශතකයයි. ඔහු පන්දු 86 කින් ලකුණු 82 ක් ලබා සිටියදී දැවී ගියා.

© ICC via Getty Images

සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ දිමුත් පන්දු 103 කින් ලකුණු 103 ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සමගින්. මෙය ඔහු අඛන්ඩව එක්දින පිටියේ දී ලකුණු 50 සීමාව පසුකළ 5 වැනි අවස්ථාව වීම කැපී පෙනෙනවා.

ඔවුන් දෙදෙනාගේ දැවීයාම්වලින් පසුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් පහළ අගයක් ගනු ලැබුවා. චරිත් අසලංක ලකුණු 38 කටත්, දසුන් ශානක ලකුණු 5කටත්, වනිදු හසරංග ලකුණු 4 කටත් දැවී ගියා. ධනංජය ද සිල්වා පන්දු 35 කින් නොදැවී ලකුණු 42 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Mark Adair කඩුලු 4 ක් දවා ගත් අතර, Barry McCarthy කඩුලු 3 බිද හෙලුවා. Gareth Delany බිද හෙලූ කඩුලු ගණන 2ක්.

[team_standings 47615]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...