LPL පළමු ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි ; ප්‍රබලයින් රැසක් සෘජුවම ගිවිසුම් ගත වෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 11 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් වියදමක් කළ හැකි බවයි තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 30 ක පමණ මුදලක් වියදම් කළ හැකියි.

පළමු අදියර තුන සදහාම ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (Draft) හරහා සිදු කෙරුණු අතර, ඒ අනුව පළමු වරටයි ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමට මෙවර සැලසුම් කර ඇත්තේ.

මීට පෙර 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ජූනි 4 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බවට නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත්, එය මේ වන විට ක්‍රීඩක වෙන්දේසියක් ලෙස ජූනි 11 වැනිදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, ජූලි 30 වැනිදා ආරම්භ වන මෙවර තරග වාරය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මේ වන විටත් කණ්ඩායම් කිහිපයක් සමග සෘජුවම ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් යාපනය කණ්ඩායම සමගින් ද, පාකිස්තාන නායක බාබර් අසාම් කොළඹ කණ්ඩායම සමගින් ද ගිවිසුම්ගත වී ඇති බව සදහන්.

ඔස්ට්‍රේලියාවේ මැතිව් වේඩ් ගිවිසුම්ගත වී ඇත්තේ දඹුල්ල කණ්ඩායම සමගින්. බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් හා දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි ගාලු කණ්ඩායම සමගින් ගිවිසුම්තගත වී තිබෙනවා.

වනිදු හසරංග හා ඇන්ජෙලෝ මැතිව්ස් මහනුවර කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත අතර, දසුන් ශානක හා භානුක රාජපක්ෂ ගාලු කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු මෙවර ක්‍රීඩා කරන්නේ දඹුල්ල කණ්ඩායම සදහායි. මතීෂ පතිරණ හා චාමික කරුණාරත්න කොළඹ කණ්ඩායම සදහා ද, තිසර පෙරේරා හා මහීෂ් තීක්ෂණ යාපනය කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...