පන්දු යවන්නන්ගේ දක්ෂතා මෙන්ම නිටිෂ් රානා හා රින්කු සිංගේ සටන්කාමී ඉනිම් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 61 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.
චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 144 ක් රැස් කරමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් පිල පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 4 කට සීමා කරමින් රහ්මනුල්ලාහ් ගුර්බාස් එක් ලකුණකට දැවී ගියා. වෙන්කටේෂ් අයියර් ලකුණු 9 යි. ජේසන් රෝයි ලකුණු 12 කට දැවී ගියා. එම කඩුලු තුනම දවා ගත්තේ දීපක් චහාර් විසින්.
අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 99 (76) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට නිටිෂ් රානා හා රින්කු සිං සමත් වුණා. රින්කු ලකුණු 54 කට දුවද්දී දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ. නායක රානා නොදැවී ලකුණු 57 යි.
මතීෂ පතිරණ පන්දුවාර 3 ක් යොමු කරමින් ලකුණු 23 ක් ලබා දුන් අතර, මහීෂ් තීක්ෂණ පන්දුවාර 3 කදී ලබා දුන් ලකුණු ප්‍රමාණය 22 ක්.
පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 72 දී බිද වැටුණා. ආරම්භක පිතිකරුවන් වූ ඩෙවෝන් කොන්වේ ලකුණු 30 ක්ද, රුටුරාජ් ගයික්වඩ් ලකුණු 17 ක් ද රැස් කළා. අජින්කෙයා රහානේ ලකුණු 16 යි. අම්බටි රයිදු ලකුණු 4 කටත් මොයීන් අලී එක් ලකුණකටත් දැවී ගියා.
අනතුරුව ශිවම් ඩූබේ හා රවීන්ද්‍ර ජඩේජා 6 වැනි කඩුල්ල සදහා ලකුණු 68 (53) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.
ඩූබේ පන්දු 34 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 48 ක්. හයේ පහර 3ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 20 යි.
පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී හා සුනිල් නරේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

