ජයිස්වාල් හා සම්පා රාජස්ථාන් කණ්ඩායම පෙරමුණට ගෙන යයි

Date:

යශස්වි ජයිස්වාල් පන්දු 43 කින් රැස් කළ ලකුණු 77 හා ඇඩම් සම්පා ලකුණු 22 කට බිද හෙලූ කඩුලු 3 හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රෝයල්ස් කණ්ඩායම සමත් වූ අතර, මෙතෙක් පළමු ස්ථානයේ සිටි සුපර් කිංග්ස් කණ්ඩායම තෙවැනි ස්ථානය දක්වා මේ වන විට පසුබැස තිබෙනවා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවනවා. එම කණ්ඩායම් තුනම හිමි කර ගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 ක්.

ජායිපූර්හි පැවැති අද තරගය ජය ගැනීම සදහා ලකුණු 203 ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වඩ් ලකුණු 47 (29) කට දැවී ගිය අතර, ශිවම් ඩූබේ පන්දු 33 කින් ලකුණු 52 ක් රැස් කළා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්. මොයීන් අලී හා රවීන්ද්‍ර ජඩේජා (නොදැවී) ලකුණු 23 බැගින් ලබා ගත්තා.

ඇඩම් සම්පාගේ විශිෂ්ඨ පන්දු යැවීමට අමතරව රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 35 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා ගනිමින්.

ජයිස්වාල් රැස් කළ ලකුණු 77 ට හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්. Dhruv Jurel පන්දු 15 කින් ලකුණු 34 ක් ලබා ගත්තා. දෙව්දත් පඩික්කල් නොදැවී ලකුණු 27(13) යි.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 24 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ රාජස්ථාන් මැදපෙල ප්‍රහාරාත්මක පිතිකරු ශිම්රන් හෙට්මයර්.

තුෂාර් දේශ්පන්ඩේ ලකුණු 42 කට කඩුලු 2 ක් දවා ගත්තා. මතීෂ පතිරණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 48 ක් ලබා දුන්න ද ඔහුට මෙම තරගයේදී කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ. ලකුණු 48 ක් ඔහුට එරෙහිව වාර්තා වුව ද. මෙම තරගයේ දී ඔහු ඉතා හොදින් පන්දු යවනු දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...