පාකිස්තානය සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලියේ ජය පිළිබද බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගය ජය ගැනීම සදහා ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට ඉනිමේ අවසන් පන්දුවේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.
පන්දුවාර 14.1 ක් අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 88 ක් ලබා පාකිස්තානය අසීරු තත්ත්වයක රැදී සිටි අතර, ඒ වන විට ඔවුන්ට කඩුලු 3 ක් පමණක් අතැතිව පන්දු 35 කදී ලකුණු 76 ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණා.
අනතුරුව ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 24 ක් පමණක් වැය කරමින් ලකුණු 60 ක් ලබා පාකිස්තානය ජයග්‍රහනය ආසන්නයටම රැගෙන යාමට සමත් වුණා.
ලකුණු 15 ක් අවශ්‍ය වූ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට ජේම්ස් නීෂම්ට එරෙහිව හයේ පහරක් හා තෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ඉෆ්ටිකාර් නවසීලන්තයට ප්‍රබල පීඩනයක් එල්ල කළේ පන්දු 3ක් තුළ ජයග්‍රහනයට ලකුණු 5ක් පමණක් අවශ්‍ය මොහොතක් දක්වා තරගය රැගෙන යමින්. කෙසේ වෙතත්, සිව්වැනි පන්දුවට ඔහු දැවී යාමත් සමග තරගයේ ජයග්‍රහනය දෙපිලටම යළි විවෘත වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 6 ක් හා හතරේ පහර 3ක් ඇතුළත් වුණා.
ඉෆ්ටිකාර් හා ෆහීම් අශ්රෆ් අතර 8 වැනි කඩුල්ල සදහා ලකුණු 61 (26) ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, 8 වැනි කඩුල්ල ලෙස ෆහීම් දැවී ගියේ ලකුණු 27 ක් ලබා සිටියදීයි.
අවසන් පන්දුවට ද තරගය ජය ගැනීමට ලකුණු 5ක් අවශ්‍ය වූ නමුත්, එම පන්දුවට හැරිස් රවුෆ් දැවී යාමත් සමග නවසීලන්තයට තියුණු ජයක් හිමි වුණා. පන්දු යැවීමේ දී නීෂම් ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඇඩම් මිල්න් හා රචින් රවීන්ද්‍ර කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ලාහෝර් හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් රැස් කළේ නායක ටොම් ලේතම් ලබා ගත් ලකුණු 64(49) න් ශක්තිමත් වෙමින්. ඩැරල් මිචෙල් ලකුණු 33 යි.
පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 33 කට කඩුලු 2 ක් ද, හැරිස් රවුෆ් ලකුණු 31 කට කඩුලු 2 ක් ද දවා ගැනීමට සමත් වුණා. 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ පාකිස්තානයයි.
තරගයේ තියුණු මුහුණුවරක් ගත් අවසන් පන්දුවාර කිහිපයේ දර්ශන කිහිපයක් පහතින් –
🔊 The @IftiAhmed221 and @iFaheemAshraf show gets the Lahore crowd buzzing! 🙌#PAKvNZ | #CricketMubarak pic.twitter.com/10bEF5p9oP
— Pakistan Cricket (@TheRealPCB) April 17, 2023
New Zealand edge out Pakistan in a final-ball thriller 🏏#PAKvNZ | #CricketMubarak pic.twitter.com/D2CQcBKWcs
— Pakistan Cricket (@TheRealPCB) April 17, 2023

