“අයි.සී.සීය හෝ වෙනත් රටක් අපේ රටේ ක්‍රිකට් හදන්න එන්නේ නැහැ” : ක්‍රීඩා ඇමති

Date:

ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් නිසි වෙලාවට නිවැරදි, සෘජු තීරණ ගැනීමට නොපැලිකෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ  නිලධාරීන්ට නිල වශයෙන් පත්වීම් භාර දීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අද (11) සිදු කෙරුණු අතර, එහිදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පැනනැගී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 2020 ජනවාරි මස 8 වන දිනට සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තුන්වන ඡේදය හා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(03) වන වගන්තිය සමග කියවිය යුතු 41 නි වගන්ති යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහා මෙම තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කෙරුණා.

එම කමිටුවේ සාමාජිකයින් වන්නේ සනත් ජයසූරිය (කමිටු සභාපති), ෆාවිස් මහරුෆ් (කමිටු සාමාජික), කපිල විජේගුණවර්ධන (කමිටු සාමාජික), චරිත් සේනානායක (කමිටු සාමාජික) හා අසන්ත ද මෙල් (කමිටු සාමාජික) යන මහත්වරුන්.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ අති දැවැන්ත වැඩ කොටසක් සිදු කර ඇති මෙම කණ්ඩායම පිළිබඳ ඇති විශ්වාසයත් සමග ඔවුන් සියලු දෙනා මෙම තනතුරුවලට පත් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“පසුගිය කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ බැස්මක් මිස නැග්මක් දකින්නට ලැබුනේ නැහැ.” යනුවෙන් අමාත්‍යරවයා කියා සිටියා.

“පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් අප රට පිළිබඳව කලකිරීමකින් රට හැරදා ගොස් හමාරයි. එම කරුණ ඉතා කනගාටුදායක තත්ත්වයක්. ක්‍රීඩාවේ අභිවෘද්ධිය සදහා සහයෝගයක් ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ ඉතාම සීමිත පිරිසක්. ක්‍රිකට් ක්‍රීඩාව ගැන ආදරයක් ලෙන්ගතුකමක් සමග මෙම ක්‍රීඩාව ගොඩනැංවිය යුතුයි යන අදිටනින් වැඩ කටයුතු කරන ඉතා සුළු පිරිසක් අප වටා සිටිනවා. එම සුළු පිරිස අතරෙන්ද පිරිසක් දැනට පවතින ක්‍රමවේදය නිසා දැඩි කණගාටුවකින් ඉවත් වී සිටිනවා. ඔවුන් මෙම ක්‍රමවේදයේ ගැටලු නිසා කිසිම දෙයකට සහභාගි නොවී සිටිනවා. එවැනි මොහොතක මාගේ ආරාධනය පිළිගෙන මෙම කර්තව්‍ය සදහා සහාය දීමට මොවුන් සියලු දෙනා පැමිණීම ඉතා වටිනා ක්‍රියාවක්.”

“පසුගිය ආසියානු කුසලානය සහ ඕස්ට්‍රේලියානු සංචාරය සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණු නමුත් ඇතිවූ අඩුපාඩු පිළිබඳව, තාක්ෂණික කටයුතු හා ක්‍රීඩකයින් තේරීම් සම්බන්ධයෙන්ද සොයා බැලීම සඳහා මෙම තාක්ෂණික කමිටුව පත් කළා.”

“විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මම මහජනතාවට වගකිව යුතුයි. ජාත්‍යන්තර තරග වලට මුහුණ දීම සඳහා රටක් වශයෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සොයා බැලීම සහ ක්‍රීඩාවේ ජයග්‍රහණය සඳහා මූලිකවම වගකිව යුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයායි. මෙම කාරණා නිසාවෙන් තාක්ෂණික කමිටුව පත්කළ අතර ඔවුන් ලබාදෙන උපදෙස් හරියාකාරව සොයා බලා ඒ අනුව කටයුතු කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයවත් වෙනත් රටක්වත් අපේ රටේ ක්‍රිකට් හදන්න එන්නේ නැහැ.”

“පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් ගත්කල ක්‍රිකට් ක්‍රීඩාවෙන් රටක් ලෙස අපි විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා. එම සියලු අභියෝග ජයගෙන මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා මුල සිට ගත යුතු පියවරයන් හදුනාගෙන යා යුතු ඉලක්කයන් ද සපුරමින් සියලු පාර්ශවයන් සමගින් මෙම කමිටුව සමගින් එක්ව කටයුතු කිරීම අපගේ අරමුණයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...