ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණක් අයි.සී.සීය කපා හරියි ; දසුන් වරද පිළිගනියි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) කටයුතු කර තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග ඔක්ලන්ඩ් හි පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ දී නියමිත කාලය අවසන් වන විට එක් පන්දුවාරයක් පිටුපසින් සිට ඇති බැවින් අයි.සී.සී තරග තීරක ජෙෆ් ක්‍රෝ විසින් මෙම දඩ නියම කිරීම සිදු කර තිබෙනවා.

මීට අමතරව මෙම වරද හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමි ප්‍රසාද ලකුණුවලින් එක් ප්‍රසාද ලකුණක් කපා හැරීමට ද පියවර ගත් බවයි අයි.සී.සී ය නිවේදනය කළේ.

කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව පවතින්නේ සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් අටට පමණයි. ශ්‍රී ලංකාව මේ වන විට 9 වැනි ස්ථානයේ රැදී සිටිමින් ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීමේ දැඩි අවධානමක පසුවන පසුබිමකයි මෙලෙස තවත් ප්‍රසාද ලකුණක් ශ්‍රී ලංකාවට අහිමි වී ඇත්තේ. අද පැනවූ දඩුවමත් සමග ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 81 ක් හිමියි.

සුපර් ලීගය ආරම්භයේ සිට නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීමේ වරදවල් හේතුවෙන් සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනෙන් මේ වන විට ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4 ක් අහිමි වී තිබෙනවා.

සුපර් ලීගයට අයත් තරගාවලියන්හී දී එම වරද වැඩිපුරම සිදු කර ඇති රට වන්නේ ද ශ්‍රී  ලංකාවයි.

සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාවට තවත් එක් තරගයක් පමණක් ඉතිරිව ඇති අතර, එම තරගය නවසීලන්තයට එරෙහිව එළඹෙන 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ප්‍රසාද ලකුණු 78 කට හිමිකම් කියන දකුණු අප්‍රිකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයේ රැදී සිටින අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු 88 ක් ලබා 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඒ අනුව නවසීලන්තයට එරෙහි තෙවැනි එක්දින තරගය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ත ප්‍රසාද ලකුණු 91 ක් ලබා ගනිමින් මේ වන විට 8 වැනි ස්ථානයේ පසුවන කොදෙව්වන් අභිබවා යමින් 8 වැනි ස්ථානය හිමි කර ගැනීමට අවස්ථාවක් උදා වනවා.

කෙසේ වෙතත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නෙදර්ලන්තයට එරෙහි එක්දින තරග දෙකම දකුණු අප්‍රිකාව ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 98 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අභිබවා යා හැකියි. බංග්ලාදේශයට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එක්දින තරග තුනම ජයගතහොත් අයර්ලන්තයට ද ප්‍රසාද ලකුණු 98 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අභිබවා යාමට අවස්ථාව පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමටනම් දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය අදාළ තරගාවලියන් හී දී අවම වශයෙන් එක් තරගයක් හෝ පරාජයට පත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. (ශ්‍රී ලංකාව මීළග තරගය ජය ගැනීම ද අනිවාර්යයි)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...