දෙවැනි තරගයෙන් කොදෙව්වන් පරදා දකුණු අප්‍රිකාව 20යි 20 ඉතිහාසය වෙනස් කරයි

Date:

ක්වෙන්ටන් ඩී කොක්ගේ වේගවත් ශතකය මෙන්ම රීසා හෙන්ඩ්‍රික්ස්ගේ හා ඒඩ්න් මාක්‍රම්ගේ සුපිරි ඉනිම් හමුවේ 20යි 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තම රට ඉදිරියේ සටහන් කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(26) සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

සෙන්චූරියන්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 259 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 18.5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

දකුණු අප්‍රිකා ඉනිමේ පවර්ප්ලේ අවස්ථාව හෙවත් පළමු පන්දුවාර 6 නිමා වන විට ඔවුන් ලකුණු 102 ක් රැස් කිරීමට සමත්ව තිබූ අතර, එය ද නව වාර්තාවක් බවට පත් වුණේ 20යි 20 ජාත්‍යන්තර තරගයක අයි.සී.සී පූර්ණ සාමාජික රටක් පවර්ප්ලේ අවස්ථාවේ දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

සිය මංගල 20යි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කළ ඩී කොක් පන්දු 44 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 100 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 8 ක් හා හතරේ පහර 9 ක් ඇතුළත්. දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව පන්දුවාර 10.5 ක් අවසානයේ 152 ක් ලෙස සටහන්ව තිබියදීයි.

හෙන්ඩ්‍රික්ස් පන්දු 28 කින් ලකුණු 68 ක් රැස් කළ අතර, රයිලි රොසෝව් ලකුණු 16 කටත්, ඩේවිඩ් මිලර් ලකුණු 10කටත් දවා ගනිමින් කොදෙව්වන් යළි සටනට අවතීර්ණ වූ නමුත්, මාක්‍රම් පන්දු 21 කින් නොදැවී ලකුණු 38 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම වාර්තාගත ජයග්‍රහනයක් කරා රැගෙන ගියා.

මීට පෙර 20යි 20 ජාත්‍යන්තර තරගයක ඉහළම සාර්ථක ලකුණු හඹා යාමේ ලෝක වාර්තාව ඔස්ට්‍රේලියාව විසින් පිහිටුවා තිබුණේ ලකුණු 244 ක ඉලක්කයක් නවසීලන්තයට එරෙහිව 2018 වසරේ දී සාර්ථකව හඹා යමින්.

අද ලැබූ ජයත් සමග එක්දින හා 20යි 20 යන තරග රටා දෙකේම ඉහළම සාර්ථක ලකුණු හඹා යාමේ ලෝක වාර්තාව දකුණු අප්‍රිකාව විසින් පිහිටුවා තිබීම විශේෂත්වයක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 258 ක් රැස් කළේ කඩුලු 5 ක් දැවී සිටියදී යි.

ජොන්සන් චාර්ල්ස් පන්දු 46 කින් ලකුණු 118 ක් රැස් කළේ හයේ පහර 11 කින් හා හතරේ පහර 10කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්. ඔහු සිය ශතකය පන්දු 39 කින් වාර්තා කළ අතර, එය කොදෙව්වන් වෙනුවෙන් 20යි 20 ජාත්‍යන්තර තරගයක වාර්තා වූ වේගවත්ම ශතකය වීම විශේෂත්වයක්.

ක්යල් මේයර්ස් පන්දු 27 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 ක්. රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 18 කින් ලකුණු 41 ක් නොදැවී ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් ලකුණු 52 කට කඩුලු 3 ක් හා වේන් පාර්නෙල් ලකුණු 43 කට කඩුලු 2ක් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...