දිමුත් ටෙස්ට් නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කරයි

Date:

අයර්ලන්ත කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

නවසීලන්තය සමග අද(20) නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 58 ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ සම්බන්ධයෙන් තමා මේ වන විට තේරීම් කමිටුව සමග සාකච්ඡා පවත්වා ඇතත්, තේරීම් කමිටුවෙන් තමාට අවසන් පිළිතුරක් මෙතෙක් ලබා දී නොමැති බවයි දිමුත් වැඩිදුරටත් කියා සිටියේ.

“මම තේරීම් කමිටුවත් එක්කත් කතා කරා අයර්ලන්ත තරගාවලියෙන් පස්සේ කණ්ඩායමේ නායකත්යෙන් ඉවත් වෙන්න. මොකද ඊළග චක්‍රය (ලෝක ටෙස්ට් ශූරතාවලියේ) වසර දෙකක් ක්‍රීඩා කරන්න ඕනෙ චක්‍රයක්. ඉතිං මම හිතනවා නව නායකයෙක් පත් කරලා ඒක කරොත් ගොඩක් වෙලාවට හොදයි කියලා. මොකද මම ඒකෙන් භාගයක් කරලා ඔහුගෙ අතට දෙනවට වඩා ඔහුම මුල ඉදල ඒක කරගෙන යන එක හොදයි.” යනුවෙන් දිමුත් සදහන් කළා.

“ඉතිං තේරීම් කමිටුවත් එක්කත් සාකච්ඡා කරා, තාම මට හරියට උත්තරයක් ලැබුණේ නැහැ. ඉතිං මම කිව්වා ඊළග තරගාවලියත් කරලා ඊට පස්සේ අලුත් චක්‍රයේ දී දෙන්නම් කියලා. තාම මට හරියට ඒ පැත්තෙන් උත්තරයක් ආවේ නෑ මොකක්ද වෙන්නේ කියලා. ඉතිං ඒක එනකම් බලාගෙන ඉන්නවා. නමුත් මගේ කල්පනාව තියෙන්නේ ගොඩක් වෙලාවට ඊලග තරගාවලියෙන් පස්සේ අලුත් නායකයාට අවස්ථාවක් ලබා දෙන්න.”

2019 වසරේ පැවැති දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ දිමුත් කරුණාරත්න එතැන් සිට මේ දක්වා තරග 26 කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

එහිදී පිතිකරුවෙකු ලෙස දිමුත් ඉනිම් 49 කදී ලකුණු 2,242 ක් වාර්තා කර ඇත්තේ ශතක 6 ක් හා අර්ධ ශතක 12 ක් සමගින්. සිය හොදම ටෙස්ට් ඉනිම ලෙස ලකුණු 244 ක් වාර්තා කළ ඔහු නායකයෙකු ලෙස පිතිකරණයේ දී 47.70 ක සාමාන්‍යයක් සටහන් කර ගැනීමට ද සමත්ව තිබෙනවා.

ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 26 න් තරග 10 ක් ජය ගත් අතර, තරග 10 ක් පරාජයට පත් වුණා. ජය පරාජයෙන් තොරව නිමා වූ තරග ගණන 6 ක්.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන්නේ අප්‍රේල් 24 වැනිදායි. තරගාවලියේ තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...