WTC අවසන් මහා තරගයේ සිහිනය ශ්‍රී ලංකාවෙන් බොද වෙයි ; නවසීලන්තයට කඩුලු දෙකක ජයක්

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අද (13) අහිමි කරමින් නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ක්‍රයිස්චර්ච්හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු දෙකකින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

අද දිනය සදහා තරගය ආරම්භ කිරීම වර්ෂාව හේතුවෙන් පැය කිහිපයකින් ප්‍රමාද වූ අතර, මෙරට වේලාවෙන් පෙරවරු 8ටයි තරගය ආරම්භ කෙරුණේ.

තරගය ජය ගැනීම සදහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285 ක ඉලක්කයක් දෙවැනි ඉනිමේ දී හිමිව තිබුණා. ඔවුන් එම ඉලක්කය කඩුලු 8 ක් දැවී පසු කර ගියේ තරගයේ අවසන් පන්දුවේදීයි.

කේන් විලියම්සන් නොදැවී ලකුණු 121 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට විශිෂ්ට ජයක් හිමි කර දුන්නා. ඔහු ලකුණු 33 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපෑවා. ඩැරල් මිචෙල් ලකුණු 81යි.

දිනය ආරම්භ කරන විට නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස ටොම් ලේතම් ලකුණු 25 කට දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේයි.  අනතුරුව හෙන්රි නිකල්ස් ලකුණු 20 කට දවා ගැනීමට ද සමත් වුණේ ප්‍රභාත් ජයසූරියයි.

අසිත ප්‍රනන්දු මෙම ඉනිමේදී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 355 ක් රැස් කළා. පිළිතුරු ලෙස නවසීලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 373 ක්.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබා ගත්තේ ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ සිය 14 වැනි ටෙස්ට් ශතකයෙන් (ලකුණු 115) ශක්තිමත් වෙමින්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තු තබා ගැනීමටනම් මෙම තරගයෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජය ගත යුතුව තිබූ අතර, මෙම තරගාවලියේ එක් තරගයක් හෝ ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් හෝ ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ඉන්දීය කණ්ඩායම අනිවාර්යයෙන්ම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතව තිබුණා.

ඒ අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමත් සමග ජූනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සදහා ඉන්දියාව සුදුසුකම් ලැබූ අතර, එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.

https://twitter.com/cricday96/status/1635187888366424064?t=Xehd90y21GOm0hLdhV2sMg&s=19

https://twitter.com/sparknzsport/status/1635173092434780161?s=09

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...