ආබාධයකට ලක් වීම හේතුවෙන් ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරග දෙක ක්‍රීඩා කිරීමට නොහැකි වූ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරග දෙක ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහුගේ වම් පාදයේ ඇතිව තිබෙන ආබාධය සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙනුයි බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග ද හේසල්වුඩ්ට අහිමි වී ඇත්තේ.
ඒ අනුව ජොෂ් හේසල්වුඩ් යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන අතර, ඔහු සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල සිඩ්නි හී දී නිරත වීමට නියමිත බව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් සදහන් කළා.
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක පසු වූ බැවින් එම තරගයෙන් ඉවත් කෙරුණු ඩේවිඩ් වෝනර්ට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්ත්වයක් පවතිනවා. ඔහු එම ඉනිමේ දී ම වම් අතෙහි පන්දුවක් වැදීම හේතුවෙන් ද ආබාධයකට ලක් වුණා.
මේ අතර, ආබාධයක් හේතුවෙන් නිමා වූ ටෙස්ට් තරග දෙකම ක්‍රීඩා කිරීමට නොහැකි වූ තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් තෙවැනි ටෙස්ට් තරගය සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවයි ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් කියා සිටියේ.

