එංගලන්ත හිටපු ක්‍රිකට් නායක ඔයින් මෝර්ගන් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
එංගලන්තයට පළමු වරට එක්දින ලෝක කුසලානයක් හිමි කර දීම වෙනුවෙන් 2019 ලෝක කුසලානයේ දී සිය කණ්ඩායමට නායකත්වය ලබා දුන් 36 හැවිරිදි ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ පසුගිය වසරේ ජූනි මාසයේ දී යි.
ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා විට මෝර්ගන් පළමු පෙල තරග 102 ක් , List A එක්දින තරග 379 ක් හා 20යි 20 තරග 374 ක් ක්‍රීඩා කර තිබෙනවා.
2014 වසරේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් වූ ඔහු වසර 7කට වැඩි කාලයක් එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.
2010 වසරේ දී එංගලන්තය පන්දුවාර 20යි 20 ලෝක කුසාලනය ජය ගන්නා විට ද කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔහු ක්‍රීඩා කළා.
වසර 13ක කාලයක් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ මෝර්ගන් එරට වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් (ලකුණු 6,957) වාර්තා කළ පිතිකරුවා වන අතර, එංගලන්තය වෙනුවෙන් දෙවැනි වැඩිම ජාත්‍යන්තර 20යි 20 ලකුණු සංඛ්‍යාවක් (ලකුණු 2,458) රැස් කළ පිතිකරුවා ද වනවා.
මෝර්ගන් එංගලන්ත කණ්ඩායම එක්දින තරග 126ක දී මෙහෙයවා තිබෙනවා. ඉන් තරග 76ක් ජයග්‍රහනය කිරීමට එංගලන්තය සමත් වුණා.
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයේ දී හයේ පහර 17ක් එල්ල කරමින් ඔයින් මෝර්ගන් ලෝක වාර්තා අතරට එක් වුණේ එක්දින ඉනිමකදී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වාර්තා කරමින්.
මෝර්ගන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරනු ලැබුවේ අයර්ලන්තය නියෝජනය කරමින්. 2006 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළ දී ඔහු අයර්ලන්තය වෙනුවෙන් එක්දින තරග 23ක් ක්‍රීඩා කර තිබුණා.

