කොන්දේසි රැසක් මත ධනුෂ්ක ගුණතිලකට ඇප

Date:

ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීමට සිඩ්නි අධිකරණයක් තීරණය කර තිබෙනවා.

ඔහු දිනපතාම පොලීසිය වෙත වාර්තා කළ යුතු බවට නියම කරමින් මෙලෙස ඇප ලබා දීමට පියවර ගෙන ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇපයක් මත ඔහුව මුදා හැර ඇති බවත්, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාර දීමට පියවර ගෙන ඇති බවත් සදහන්.

සමාජ මාධ්‍ය ගිණුම් පරිහරණය කිරීම ද අවහිර කරමින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව අධිකරණය විසින් දැඩි සීමා පනවා තිබෙනවා.

එමෙන්ම රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීති කාලයකට ද ඔහුව යටත් කරමිනුයි මෙම ඇප ලබා දීම සිදු කර ඇත්තේ.

නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්ව සිටියදී ධනුෂ්ක ගුණතිලක පසුගිය 6 වැනිදා අලුයම් කාලයේ දී සිඩ්නි නුවර දී අත්අඩංගුවට පත් වූයේ කාන්තාවකට අතවර කිරීමේ චෝදනා 4 ක් යටතේ යි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති තරගය අවසන් වී පැය කිහිපයකට පසුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට හා කාර්යය මණ්ඩල සාමාජිකයින්ට යළි මෙරටට පැමිණීමට සිදු වූයේ ධනුෂ්ක ගුණතිලක නොමැතිවයි.

ඔහු පළමු වරට ගොණු කළ ඇප ඉල්ලීම පසුගිය 7 වැනිදා සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයේ මහේස්ත්‍රාත් රොබර්ට් විලියම්ස් විසින් ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත්, අද දිනයේ දී ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය විසින් ඔහුගේ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් පසුව ඇප නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් ද පසුගියදා පත් කළා.

එමෙන්ම ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් ද පැනවීමටයි ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

නඩුව යළි ජනවාරි 12 වැනිදා කැදවීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...