ස්ටොයිනිස්ගේ වාර්තාගත 59* ශ්‍රී ලංකාවට සටන්කාමී පරාජයක් හිමි කර දෙයි

Date:

මර්කස් ස්ටොයිනිස් වාර්තා කළ නොදැවුණු වේගවත් අර්ධ ශතකය හේතුවෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන් කඩුලු 7 ක පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(25) සිදු වුණා.

තරගාවලියේ 19 වැනි තරගය වූ මෙම තරගය ජය ගැනීම සදහා ලකුණු 158 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු 21 ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

ඉනිමේ ආරම්භක පන්දුවාරය යොමු කළ බිනුර ප්‍රනාන්දු පන්දු 5ක් යොමු කිරීමෙන් පසුව ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වීම ශ්‍රී ලංකාවට දැඩිව බලපානු ලැබුවා.

ලහිරු කුමාරගේ වේගවත් පන්දු හමුවේ ආරෝන් ෆින්ච් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දැඩි අභියෝගයකින් යුතුව පන්දුවට පහරදුන් අතර, ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩ පන්දු දෙකක් ද ගිලිහී ගියේ තරගයේ වාසනාව ද ඔස්ට්‍රේලියාව සතු බව මොනවට පැහැදිලි කරමින්.

ඩේවිඩ් වෝනර් ලකුණු 11 කට දැවී ගිය අතර, මිචෙල් මාෂ් ලකුණු 18 යි. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 12 කින් ලකුණු 23 ක් රැස් කළා. නායක ෆින්ච් පන්දු 42 ක් වැය කරමින් නොදැවී ලකුණු 31 ක් ලබා ගත්තා.

තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් තිබූ අවස්ථාවක පිටියට පිවිසි මර්කස් ස්ටොයිනිස් පන්දු 18 කින් හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 59 ක්. ඔහු සිය අර්ධ ශතකය පන්දු 17 කින් වාර්තා කළ අතර, එය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පිතිකරුවෙකු 20යි 20 ජාත්‍යන්තර තරගයකදී රැස් කළ වේගවත්ම අර්ධ ශතකයයි.

ස්ටොයිනිස් හා ෆින්ච් 4 වැනි කඩුල්ලට පන්දු 25 කින් නොබිදුණු ලකුණු 69 ක වේගවත් සබදතාවයක් ගොඩ නැගීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න හා මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් දවා ගත්තා. දැඩි ප්‍රහාරයකට ලක් වූ වනිදු හසරංග පන්දුවාර 3ක් යොමු කළ අතර, ඔහුට එරෙහිව ප්‍රතිවාදී පිතිකරුවන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 53 ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් වේග පන්දු යවන්නන්ට ඉතා උචිත වූ පර්ත් තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අභියෝගය ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 157 ක්. කුසල් මෙන්ඩිස් ලකුණු 5 කට දැවී ගිය අතර, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා පැතුම් නිස්සංක හා ධනංජය ද සිල්වා ලකුණු 69(58) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

ධනංජය ලකුණු 26 කට දැවී ගිය අතර, පැතුම් ලකුණු 40 කට දුවද්දී දැවී යාම ශ්‍රී ලංකා ඉනිමට දැඩිව බලපෑවා. චරිත් අසලංක නොදැවී ලකුණු 38(25)ක් හා චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14(7) ක් රැස් කරමින් ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ භානුක රාජපක්ෂ, දසුන් ශානක හා වනිදු හසරංග අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පසුබිමකයි.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටක්, ඇෂ්ටන් ඒගාර් හා ග්ලේන් මැක්ස්වෙල් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...