කරන්ගේ කඩුලු 5 හා සුපිරි පන්දු රැකීම එංගලන්තයට පළමු ජය හිමි කර දෙයි

Date:

ලකුණු 10 කට කඩුලු 5 ක් දවා ගනිමින් සෑම් කරන් දැක් වූ සුපිරි පන්දු යැවීමේ දක්ෂතාවය හා පන්දු රකින්නන්ගේ විශිෂ්ඨ පන්දු රැකීම හේතුවෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ, අද පැවැති තරගාවලියේ 14 වැනි තරගය හෙවත් සුපිරි 12 වටයේ දෙවැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කරමින්.

පර්ත් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඇෆ්ඝනිස්තානයට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 19.4 ක් අවසානයේ දී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. ඒ, ඇෆ්ඝනිස්තාන ලකුණු පුවරුව 112 ක් ලෙස සටහන්ව තිබියදීයි.

ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 32 ක් ද, උස්මාන් ඝානි ලකුණු 30 ක් ද රැස් කළා. මෙම ඉනිමේ දී එංගලන්ත පන්දු රකින්නන් විසින් විශිෂ්ඨ උඩ පන්දු කිහිපයක්ම රැක ගැනීම ද කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී සෑම් කරන් පන්දුවාර 3.4 ක් තුළ ලකුණු 10 කට කඩුලු 5 ක් දවා ගනිමින් ඉතිහාසයට එක් වුණේ ජාත්‍යන්තර 20යි 20 තරගයක දී එංගලන්තය වෙනුවෙන් කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත් වෙමින්.

Watch : පියඹා ගොස් බට්ලර් රැක ගත් සුපිරි උඩ පන්දුව

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 18.1 ක් අවසානයේ දී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එංගලන්ත පිතිකරුවන්ට යම් අභියෝගයක් එල්ල කිරීමට ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන් සමත් වූ නමුත්, දුර්වල පන්දු රැකීම් මෙන්ම ආරක්ෂා කර ගැනීමට තිබූ ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ බැවින් ඇෆ්ඝනිස්තානයට තරගයේ ජය හිමි කර ගැනීමට හැකි වූයේ නැහැ.

එංගලන්තය වෙනුවෙන් ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 21 කින් නොදැවී ලකුණු 29 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඇලෙක්ස් හේල්ස් ලකුණු 19 ක් ද, ජොස් බට්ලර් හා ඩේවිඩ් මලාන් ලකුණු 18 බැගින් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි, මුජීබ් උර් රහ්මාන්, රෂීඩ් ඛාන්, මොහමඩ් නබී හා ෆරීඩ් අහ්මඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...