සුපිරි 4 වටයත් අවධානමට ලක් කරමින් ශ්‍රී ලංකාවට දරුණු, අවමන් සහගත අන්ත පරාජයක්

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් දරුණු හා අවමන් සහගත පරාජයක් අත්විදීමට තරගාවලියේ සත්කාරක අයිතිය හිමි ශ්‍රී ලංකාවට අද(27) සිදු වුණා.

ඇෆ්ඝනිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ කඩුලු 8 කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීම විශේෂත්වයක්. මතීෂ පතිරණ හා දිල්ෂාන් මදුෂංක යන වේග පන්දු යවන්නන් දෙදෙනායි එලෙස 20යි 20 වරම් හිමි කර ගත්තේ.

ප්‍රධාන වේග පන්දු යවන්නන් ආබාධවලට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලානය වැනි ප්‍රධාන තරගාවලියක දී එවැනි බැරෑරුම් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වීම තුළින් ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ජාත්‍යන්තර තරග සැලසුම් සම්බන්ධයෙන් ද මතු කළේ දැඩි ප්‍රශ්නාර්ථයක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පන්දුවාරයේ සිටම ප්‍රබල අභියෝගයක් ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන්ගෙන් එල්ල වූ අතර, ශ්‍රී ලංකා පිලට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණයි.

දුර්වල පහරවල් තෝරා ගැනීමේ ප්‍රතිපල මත කඩුලු කිහිපයක්ම ශ්‍රී ලංකාවට අහිමි වී ගිය අතර, පැතුම් නිස්සංකගේ දැවී යාම ද දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා.

ඒ, තෙවන විනිසුරු විසින් ඔහු කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අයෙකු ලෙස තහවුරු කරමින් ලබා දුන් තීන්දුවක් හේතුවෙන්. එය පැහැදිලිවම පිත්තේ නොදැවුණු පන්දුවක් ලෙස දර්ශනය වුව ද, තෙවන විනිසුරු එය දැවී යාමක් ලෙස සංඥා කරනු ලැබුවා.

පළමු පන්දුවාරයේ දී ම කුසල් මෙන්ඩිස්(2) හා චරිත් අසලංක(1) යළි ක්‍රීඩාගාරයේ අසුන් වෙත හරවා යැවූ ෆසල්හක් ෆරූකි මෙම තරගයේ දී පන්දුවාර 3.4 ක් තුළ ලකුණු 11 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ භානුක රාජපක්ෂ ලකුණු 38(29) ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 17(17) ක් ලබා සිටියදී අනවශ්‍ය රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 5 ක් තුළ දැවී යාමෙන් පසුව ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබදතාවය ලකුණු 44(32) ක්.

වනිදු හසරංග ලකුණු දෙකකටත්, නායක දසුන් ශානක පළමු පන්දුවෙනුත් දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 100 සීමාව ඉක්මවා රැගෙන යාම සදහා දායකත්වය දැක් වූ චාමික කරුණාරත්න ලකුණු 31 ක් පන්දු 38 කින් වාර්තා කළා.

පන්දු යැවීමේ දී මුජීබ් උර් රහ්මාන් හා මොහමඩ් නබී කඩුලු 2 බැගින් දවා ගැනීමට ද සමත් වුණා.

පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට ලකුණු 106 ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට වැය වූයේ පන්දුවාර 10.1 ක් පමණයි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 40 කට දැවී ගිය අතර, ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 15 කට දුවද්දී දැවී ගියා.

හස්රටුල්ලාහ් සසායි නොදැවී ලකුණු 37(28) යි. සසායි හා ගුර්බාස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 83ක්.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 19 කට කඩුල්ලක් දවා ගත්තා.

මෙය ඉතිරි වූ පන්දු ප්‍රමාණය අතින් ගත් විට ශ්‍රී ලංකාව 20යි 20 ඉතිහාසයේ දී ලැබූ දෙවැනි දරුණුතම පරාජයයි.

මෙම පරාජය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ද මේ වන විට අවධානමකට ලක්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...