ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද පොදු රාජ්‍ය මණ්ඩලීය තරග බිමට

Date:

එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්ව යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය සඳහා අද (30) පැවැත්වෙනවා.

සත්කාරක එංගලන්තයට එරෙහිව Edgbaston හී දී පැවැත්වෙන මෙම තරගය මෙරට වෙලාවෙන් රාත්‍රී 10.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්වේ දී ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග කිරීමට නියමිත අතර, මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන අනෙක් කණ්ඩායම් දෙක වන්නේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාවයි.

නවසීලන්තයට එරෙහි තරගය අගෝස්තු දෙවැනිදා ද, දකුණු අප්‍රිකාවට එරෙහි තරගය අගෝස්තු 4 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

“අපිට ලැබිලා තියෙන කාණ්ඩයේ ප්‍රතිවාදීන් බැලුවහම ගොඩක් ප්‍රබලයි. ඒත් වැදගත් වන්නේ අපි එදා දවසේ කොහොමද ක්‍රීඩා කරන්නේ කියන එකයි.” යනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මාධ්‍ය හමුවේ සදහන් කළා.

“ශ්‍රේණිගත කිරීම්වල ඔවුන් ඉදිරියෙන් ඉන්න පුලුවන්. නමුත් මම කියන්නේ ඒ සියල්ල අංක පමණයි. අපි පුලුවන් තරම් වැරදි අඩුවෙන් ක්‍රීඩා කළොත් අපිට ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා.”

“මම ගොඩක් මෙහෙ තත්ත්වයන් යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා මෙහෙ තණතීරු ගැන අවබෝධයක් තියෙනවා. ඒ වගේම ‌මෙහෙ තියෙන කාලගුණය මේ දිනවල ගොඩක්ම ශ්‍රී ලංකාවට සමාන නිසා එච්චරම වෙනස්කමක් බලාපොරොත්තු වෙන්නේ නෑ.”

“කවුරුත් හිතන්නේ නෑ අපි මේ තරගාවලියේ ජයග්‍රහණ කරන කණ්ඩායමක් කියලා. ඒකත් අපිට වාසියක් විදියට මම සලකනවා. අපි උපරිමයෙන් මේ තරගාවලියේදී ක්‍රීඩා කළොත් හොඳින් තරගාවලිය අවසන් කරන්න අපිට පුලුවන් වෙයි”

පසුගිය 28 වැනිදා ආරම්භ වූ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...