අබ්දුල්ලාහ්ගේ සටන්කාමී 160* පාකිස්තානයට වාර්තාගත ජයක් හිමි කර දෙයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක වාර්තාගත ජයක් ලබමින් දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(20) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 342 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී කඩුලු 6 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙය ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැති ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් සාර්ථකව හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.

එමෙන්ම පාකිස්තානය සිය ටෙස්ට් ඉතිහාසයේ දී හඹා ගොස් තරගයක් ජය ගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද මෙම ලකුණු ප්‍රමාණයයි.

අද දිනය ආරම්භ කරන විට පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලකුණු 222 ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේ දී ජයග්‍රහනයට අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාව 120ක්.

දිනයේ පළමු කඩුල්ල ලෙස මොහොමඩ් රිස්වාන් ලකුණු 40 කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

අගා සල්මාන් ලකුණු 12 කට දැවී ගියේ ද ඔහුගේ පන්දුවක් හමුවේයි. හසන් අලී ලකුණු 5 කට දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුණා.

කෙසේ වෙතත්, ආරම්භක පිතිකරු අබ්දුල්ලාහ් ශෆික් නොදැවී ලකුණු 160 ක් ලබා ගනිමින් පාකිස්තානය වාර්තාගත ජයක් කරා රැගෙන ගියා. පන්දු 408 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඇතුළත්.

ඔහු ලකුණු 151 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කසුන් රාජිත අතින් ගිලිහී යාම තරගයේ තීරණයට අවසන් මොහොතේදී දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් නායක බබාර් අසාම් ලකුණු 55 ක් ද, ඉමාම් උල් හක් ලකුණු 35 ක් ද රැස් කළා. අසාර් අලී ලකුණු 6යි. මොහොමඩ් නවාස් නොදැවී ලකුණු 19යි.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 133 කට කඩුලු 4ක් දවා ගත් අතර, රමේෂ් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 222 ක්. පිළිතුරු ලෙස පාකිස්ථානය සිය පළමු ඉනිමට ලකුණු 218 ක් ලබා ගත්තා.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සදහා ලකුණු 337 ක් රැස් කිරීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...