සූර්යකුමාර්ගේ හුදෙකලා ශතකය අපතේ යවමින් ඉන්දියාවට තියුණු පරාජයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයෙන් ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද(10) සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

නොටින්හැම් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 215 ක්.

ඩේවිඩ් මලාන් පන්දු 39කින් ලකුණු 77ක් ලබා ගත්තා. හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 29කින් නොදැවී ලකුණු 42 ක් වාර්තා කළේ හයේ පහර 4ක් සමගින්.

එංගලන්තය වෙනුවෙන් ජේසන් රෝයි ලකුණු 27ක් ද, හැරී බෘෘක් ලකුණු 19ක් ද, නායක ජොස් බට්ලර් ලකුණු 18 ක් ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි හා හර්ෂාල් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා. අවේශ් ඛාන් හා උම්රාන් මලික් අතරේ කඩුල්ල බැගින් බෙදී ගිය නමුත්, මලික් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 56ක් ලබා ගැනීම කැපී පෙනුණා.

ලකුණු 216 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 198 ක් පමණයි.

රිෂාබ් පාන්ට් එක් ලකුණකටත්, රෝහිට් ෂර්මා හා විරාට් කෝලි ලකුණු 11 බැගින් ලබා සිටියදීත් දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව සූර්යකුමාර් යාදව් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දීය කණ්ඩායම යළි සටනට අවතීර්ණ කළේ සිය මංගල 20යි 20 ජාත්‍යන්තර ශතකය ද වාර්තා කරමින්.

ඔහු පන්දු 55 කින් වේගවත් ලකුණු 117 ක් වාර්තා කිරීමට සමත් වුණා. හයේ පහර 6කින් හා හතරේ පහර 14කින් සූර්යකුමාර්ගේ ඉනිම වර්ණවත් වුණා.

ෂ්රෙයස් අයියර් ලකුණු 28 ක් ලබා ගනිමින් ඔහුට යම් සහායක් ලබා දුන්නා. කෙසේ වෙතත්, සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් ඉනිමට සැලකිය යුතු දායකත්වය නොලැබීම මත ඉන්දියාවට තෙවැනි 20යි 20 තරගයෙන් පරාජය වීමට සිදු වුණා.

පන්දු යැවීමේ දී රීස් ටොප්ලි කඩුලු 3ක් දවා ගත් අතර, ඩේවිඩ් විලී හා ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙය ජොස් බට්ලර් එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් වීමෙන් පසුව එංගලන්තය ජය ගත් පළමු තරගය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...