චන්දිමාල්ගේ ශතකය හමුවේ දෙවැනි ටෙස්ට් තරගයේ පාලනය ශ්‍රී ලංකාවට නතු වෙයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (10) නිමා වුණේ තරගයේ පාලනය ශ්‍රී ලංකාව වෙත නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 431 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 118 ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 7ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ චන්දිමාල්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 9 ක් ඇතුළත්.

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 184 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 85කට දැවී ගියා. ඒ, නේදන් ලයන් යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

අනතුරුව චන්දිමාල් හා ඇන්ජෙලෝ මැතිව්ස් අතර සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 83ක්. මැතිව්ස් ලකුණු 52කට දැවී ගියේ මිචෙල් ස්ටක්ගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව චන්දිමාල් හා කමිදු මෙන්ඩිස් 5 වැනි කඩුල්ල සදහා ලකුණු 133 ක සබදතාවයක් ගොඩ නැගුවා. සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන කමිදු පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 61 ක් රැස් කළා. නිරෝෂන් දික්වැල්ල ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ඊයේ දිනයේ දී ලකුණු 6ක් ලබා සිටියදී දැවී ගිය අතර, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා නායක දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් ලකුණු 152 ක සබදතාවයක් ගොඩ නැගුවා. දිමුත් දැවී ගියේ ලකුණු 86 ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක්, නේදන් ලයන් හා මිචෙල් ස්වෙප්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ගාල්ලේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 364ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 67 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...