සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ සිව්වැනි දිනය අද(13) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම සමව හිමි කර දෙමින්.
දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 224ක් ලබා සිටියා.
විල් යන්ග් ලකුණු 56ක් රැස් කළ අතර, ඩෙවෝන් කොන්වේ ලකුණු 52කට දැවී ගියා. ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 32ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී මැතිව් පොට්ස් කඩුලු 2ක් දවා ගත් අතර, ජේම්ස් ඇන්ඩර්සන්, ස්ටුවට් බ්‍රෝඩ් හා ජැක් ලීච් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
අද දිනය ආරම්භ කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 473ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 539 ක්.
ජෝ රූට් ලකුණු 176ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 26ක් සමගින්. ඔලී පෝප් ලකුණු 145යි. පෝප්ගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 13කින් වර්ණවත් වුණා. බෙන් ෆෝක්ස් ලකුණු 56යි.
පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 106කට කඩුලු 5ක් දවා ගැනීම කැපී පෙනුණා. මයිකල් බ්‍රේස්වෙල් ද කඩුලු 3ක් බිද හෙලුවා.
නොටින්හැම්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 553ක්. ඩැරල් මිචෙල් ලකුණු 190ක් ලබා ගත්තා. ටොම් බ්ලන්ඩල් ලකුණු 106යි. පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් දවා ගත්තා.
ඒ අනුව නවසීලන්තය මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 238 ක්.

