ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන්ට 2022-23 තරග වාරය සදහා නව කොන්ත්‍රාත් ගිවිසුමක් ලබා නොදීමට තස්මේනියා ප්‍රාන්ත කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ අනුව 37 හැවිරිදි ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් මේ වන විට තවදුරටත් ඇත්තේ දැඩි අවිනිශ්චිත භාවයක්.
ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ටිම් පේන් ඉල්ලා අස් වුණේ පසුගිය නොවැම්බර් 19 වැනිදායි.
ඒ, 2017 වසරේ දී තස්මේනියා ක්‍රිකට් හි සේවිකාවක සමග නුසුදුසු කෙටි පණිවිඩ හුවමාරුවක් සිදු කිරීමේ සිද්ධියක් හේතුවෙන්.
අනතුරුව ඔහු ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත්ව සිටියා.
කෙසේ වෙතත්, පසුගිය තරග වාරයේ අවසන් භාගයේ දි ඔහු තස්මේනියා කණ්ඩායම සමග සහාය පුහුණුකරුවෙකු ලෙස එක් වුණා.
ඔහු ඉදිරියේ දී ත් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානමින් පසුවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇතත්, ක්‍රීඩකයෙකු ලෙස ටිම් පේන්ගේ ක්‍රීඩා දිවිය මේ වන විට අවසන්ව ඇති බවක් දක්නට ලැබෙනවා.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 35කට ක්‍රීඩා කළ ඔහු, පළමු පෙල තරග 147 ක් ද ක්‍රීඩා කර තිබෙනවා.

