මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 52 වැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ දී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.
රාජස්ථාන් කණ්ඩායම මෙවර තරඟ වාරයේදී තරඟයක් හඹා ගොස් ජය ගත් පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
එමෙන්ම මෙම තරගයේ ප්‍රතිඵලය අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර අයි.පී.එල් තරඟාවලියෙන් නිල වශයෙන් මේ වන විට ඉවත් වීමට ද සිදුවී තිබෙනවා.
අද පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා.
ජොනී බෙයාර්ස්ටව් පන්දු 40 කින් ලකුණු 56ක් රැස් කළා. එය ඔහු මෙවර තරඟාවලියේදී වාර්තා කළ පළමු අර්ධ ශතකයයි.
භානුක රාජපක්ෂ පන්දු 18කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27ක්. හයේ පහර දෙකකින් සහ හතරේ පහර 2කින් ඔහුගේ කෙටි ඉනිම වර්ණවත් වුණා.
ජිටේෂ් ෂර්මා නොදැවී ලකුණු 38ක් ලබා ගත්තේ පන්දු 18ක් පමණක් වැය කරමින්. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 22(14)යි.
පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා.
ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කයක් පසු කළා.
ජොස් බට්ලර් පන්දු 16කින් ලකුණු 30 ක් ලබා සිටියදී දැවී ගියේ කාගිසෝ රබාඩා යොමු කළ පන්දුවකට භානුක රාජපක්ෂ අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.
යෂස්වි ජයිස්වාල් පන්දු 41කින් ලකුණු 68ක් වාර්තා කරමින් ජයග්‍රහනයට අවශ්‍ය පදනම සකස් කළා. හයේ පහර දෙකක් සහ හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
සංජු සැම්සන් ලකුණු 23(12) ක් ද, දෙව්දත් පඩික්කල් ලකුණු 31(32)ක් ද රැස් කළා.
ශිම්රන් හෙට්මයර් පන්දු 16කින් හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 31 ක් ලබා ගනිමින් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං ලකුණු 29 කට කඩුලු දෙකක් බිද හෙලුවා.
— cric fun (@cric12222) May 8, 2022

