ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 51 වැනි තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ සිය දෙවැනි ජය තහවුරු කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.
මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බායි කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 177ක් රැස් කළා.
ආරම්භක කඩුල්ල සදහා ලකුණු 74ක සාර්ථක සබදතාවයක් ගොඩ නැගීමට ඉෂාන් කිෂන් හා රෝහිට් ෂර්මා සමත් වුණා.
රෝහිට් ෂර්මා ලකුණු 43(28)කටත්, ඉෂාන් කිෂන් ලකුණු 45(29)කටත් දැවී ගියා.
ටිම් ඩේවිඩ් පන්දු 21කින් නොදැවී ලකුණු 44ක් රැස් කරමින් මුම්බායි ඉනිම ශක්තිමත් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.
පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත් අතර, අල්සාරි ජෝසප්, ලොකී ෆර්ගසන් හා Pradeep Sangwan කඩුල්ල බැගින් බිද හෙලුවා.
ලකුණු 178ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.
ආරම්භක කඩුල්ල සදහා ව්රිධිමන් සහා හා ෂුබ්මන් ගිල් අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 106ක්.
ගිල් ලකුණු 52(36)කටත්, ව්රිධිමන් ලකුණු 55(40)කටත් දැවී ගියා. නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 24(14)යි. සායි සුදර්සන් ලකුණු 14ක් රැස් කළා.
ඩේවිඩ් මිලර් පන්දු 14කින් ලකුණු 19ක් නොදැවී ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුවත් තරගයේ අවසන් පන්දුවේ දී එම බලාපොරොත්තු ගිලිහී ගියා.
තරගය ජය ගැනීමට අවසන් පන්දුවාරයේ දී ලකුණු 9ක් ලබා ගත යුතු වූ නමුත් ගුජරාට් කණ්ඩායමට ඩැනියල් සෑම්ස් යොමු කළ එම පන්දුවාරයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 3ක් පමණයි. (අවසන් පන්දුවේ දර්ශන පහතින්)
මීට පෙර මෙලෙස ලකුණු 9ක් හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් අවසන් පන්දුවාරයේ දී රැක ගෙන තිබුණේ 2019 වසරේ අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පමණයි.
එම තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවාරය යොමු කරනු ලැබුවේ ලසිත් මාලිංග විසින්.
පන්දු යැවීමේ දී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් අද තරගයේ දී මුරුගන් අශ්වින් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්තා.
මෙම තරගයෙන් පරාජයට පත් වුවද මෙවර අයි.පී.එල් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ගුජරාට් කණ්ඩායම සමත්ව ඇත්තේ ක්‍රීඩා කළ තරග 11න් තරග 8ක් ජය ගනිමින්.
ක්‍රීඩා කළ තරග 10න් තරග 8ක් පරාජයට පත් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)
— cric fun (@cric12222) May 6, 2022
A look at the Points Table after Match No. 5⃣1⃣ of the #TATAIPL 2022 🔽 #GTvMI pic.twitter.com/QCCN9Lm30Y
— IndianPremierLeague (@IPL) May 6, 2022

