මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී අඛණ්ඩව තරග 5ක් පරාජයට පත්ව සිටි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(2) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ, මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති මෙවර තරගාවලියේ 47 වැනි තරගයේ දී යි.
තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5ක් දැවී ලකුණු 152ක් රැස් කරමින්.
නායක සංජු සැම්සන් ලකුණු 54ක් රැස් කළා. පන්දු 49කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7ක් ඇතුළත්.
ශිම්රන් හෙට්මයර් නොදැවී ලකුණු 27(13)ක් හා ජොස් බට්ලර් ලකුණු 22(25)ක් රැස් කළා. රියාන් පරාග් ලකුණු 19(12)යි.
පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 2ක් දවා ගත් අතර, උමේෂ් යාදව්, අනුකුල් රෝයි හා ශිවම් මාවි කඩුල්ල බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.
ආරොන් ෆින්ච් ලකුණු 4කට දැවී ගියා. බාබා ඉන්ද්‍රජිත් ලකුණු 15යි.
නායක ෂ්රෙයස් අයියර් පන්දු 32කින් ලකුණු 34ක් ලබා ගත්තා. නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය නිටිෂ් රානා නොදැවී ලකුණු 48(37)ක් ද රින්කු සිං නොදැවී ලකුණු 42(23)ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, ප්‍රසිද් ක්‍රිෂ්නා හා කුල්දීප් සෙන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

