මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී අඛණ්ඩව ලැබූ 5 වැනි පරාජය ද වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අද(28) සිදු වුණා.
ඒ, තරගාවලියේ 41 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හමුවේ කඩුලු 4කින් පරාජයට පත් වීම හේතුවෙන්.
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.
කොල්කටා ඉනිමේ ලකුණු 10 සීමාව පසු පසු කර ගියේ පිතිකරුවන් තිදෙනෙකු පමණයි.
නායක ෂ්රෙයස් අයියර් පන්දු 37 කින් ලකුණු 42ක් රැස් කළා. නිටීෂ් රානා පන්දු 34 කින් ලකුණු 57 ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින්. රින්කු සිං ලකුණු 23 (16)යි.
දිල්ලි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ කුල්දීප් යාදව් පන්දුවාර තුනක් පමණක් ක්‍රියාත්මක කරමින් ලකුණු 14කට කඩුලු 4ක් දවා ගත්තා.
මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ලකුණු 18කට දවා ගත් කඩුලු සංඛ්‍යාව 3ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 6ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.
ආරම්භක පිතිකරු ප්‍රිත්වි ෂෝ ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියේ උමේෂ් යාදව් යොමු කළ පන්දුවක් හමුවේයි. මිචෙල් මාෂ් ලකුණු 13යි.
ඩේවිඩ් වෝනර් ලකුණු 42 ක් රැස් කළේ පන්දු 26කින්. හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ලලිත් යාදව් ලකුණු 22කට දැවී ගියා. නායක රිෂාබ් පාන්ට් ලබා ගත්තේ ලකුණු 2ක් පමණයි.
අක්සාර් පටෙල් පන්දු 17කින් ලකුණු 24ක් රැස් කරමින් බිද වැටුණු ඉනිමට ජයග්‍රාහී මාවතක් යළි විවර කළා.
දිල්ලිය ජයග්‍රහනය කරා රැගෙන ගිය රොව්මන් පවෙල් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තේ පන්දු 16ක් පමණක් වැය කරමින්. හයේ පහර 3ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.
පන්දු යැවීමේ දී උමේෂ් යාදව් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.
— Rishobpuant (@rishobpuant) April 28, 2022

