ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් ලකුණු 44ක ජයක් වාර්තා කරමින් මෙවර තරග වාරයේ සිය දෙවැනි ජය (තරග 4කින්) වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.
මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 215ක් ලබා ගත්තා.
ඩේවිඩ් වෝනර් පන්දු 45කින් නොදැවී ලකුණු 61යි. හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ප්‍රිත්වි ෂෝ පන්දු 29ක් පමණක් වැය කරමින් ලකුණු 51ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් ද සමගින්.
රිෂාබ් පාන්ට් ලකුණු 27(14)කට දැවී ගියා.
ඉනිමට වේගවත් අවසානයක් ලබා දුන් අක්සාර් පටෙල් ලකුණු 22(14)ක් හා ශර්දුල් තාකූර් ලකුණු 29(11)ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී සුනිල් නාරායන් ලකුණු 21කට කඩුලු 2ක් බිද හෙලූ අතර, උමේෂ් යාදව්, වරුන් චක්‍රවර්තී හා අන්ඩ්‍රි රසල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිලට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 171ක් පමණයි.
නායක ෂ්රෙයස් අයියර් පන්දු 33කින් ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් ද සමගින්.
නිටිෂ් රානා ලකුණු 30කටත්, අන්ඩ්‍රි රසල් ලකුණු 24කටත් දැවී ගියා.
පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් ලකුණු 35කට කඩුලු 4ක් හා කලීල් අහ්මඩ් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තා.

