ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හා 20යි 20 තරගය රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ දී නොපවත්වා ලාහෝර් හී දී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, තරග පැවැත්වෙන දින සංශෝදනය නොකිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව එක්දින තරග 3 මාර්තු 29, 31 හා අප්‍රේල් දෙවැනි දා පැවැත්වෙන අතර, 20යි 20 තරගය අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.
දෙරටේ ක්‍රිකට් ආයතන අතර පැවැති සාකච්ඡාවකින් පසුව අන්‍යෙන්‍ය වශයෙන් මේ සදහා එකගතාවයකට එළඹුණු බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන සතියේ දී විශ්වාසභංගයකට මුහුණ දීමට නියමිතව සිටින අතර, ඒ හා බැදුණු දේශපාලනික වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
රාවල්පින්ඩි නගරය සමීපව පිහිටා ඇති ඉස්ලාමාබාද් නුවර දී දැවැන්ත දේශපාලන රැලි ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
සීමිත පන්දුවාර තරග සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලබන 24 වනදා ලාහෝර් නුවරට පැමිණිමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

