ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා අපතේ යවමින් පළමු තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(11) සමත් වුණා.

සිඩ්නි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක් හිමි වූ නමුත්, වර්ෂාවෙන් තරගයට එල්ල වූ බලපෑම හමුවේ එය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 19කදී ලකුණු 143ක ඉලක්කයක් ලෙස පසුව සංශෝදනය කෙරුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට පන්දුවාර 19 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122ක් පමණයි.

පනවා තිබූ ජාත්‍යන්තර තරග තහනමෙන් පසුව යළි ජාත්‍යන්තර පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකට දැවී ගියා.

පැතුම් නිස්සංක ලකුණු 36(37) ක් ලබා ගත් අතර, චරිත් අසලංක ලකුණු 16ක් ද, වනිදු හසරංග ලකුණු 13ක් ද රැස් කළා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 25(16)ක් ලබා ගත් නමුත්, වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව කරා පැමිණීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිමේ දී නිලකුණු පන්දු 57ක් වාර්තා වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 12කට කඩුලු 4ක් බිද හෙලුවා. ඇඩම් සම්පා ලකුණු 18කට දවා ගත් කඩුලු ගණන 3ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින්.

සිය මංගල 20යි 20 ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ බෙන් මැක්ඩමට් ලකුණු 53 (41) ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් සමගින්.

මංගල 20යි 20 තරගයට ක්‍රීඩා කළ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 23කට දැවී ගියා. මර්කස් ස්ටොයිනිස් පන්දු 17කින් වේගවත් ලකුණු 30ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 38 ක් ලබා දෙමින් ආරෝන් ෆින්ච්, ග්ලේන් මැක්ස්වෙල් හා ස්ටීවන් ස්මිත්ගේ කඩුලු දවා ගත්තා.

බිනුර ප්‍රනාන්දු ලකුණු 12කට කඩුලු 2ක් බිද හෙලූ අතර, චාමික කරුණාරත්න ලකුණු 22කට කඩුලු 2ක් ද, දුෂ්මන්ත චමීර ලකුණු 38කට කඩුලු 2ක් ද දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ ‍දෙවැනි තරගය එළඹෙන ඉරිදා(13) සිඩ්නිහී දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...