මෙන්ඩිස්ගේ ප්‍රහාරය හා තුෂාරගේ කඩුලු 5 ග්ලැඩියේටර්ස් අවසන් තරගයට ගෙන යයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් වටය යටතේ ඉරිදා(19) රාත්‍රියේ පැවැති Qualifier 1 තරගයෙන් ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 64ක ජයක් වාර්තා කරමින්.

එය ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරග වාරයේ දී පරාජයට පත් වූ තෙවැනි අවස්ථාව වීම ද විශේෂත්වයක්.

ගාලු කණ්ඩායම එල්.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ අඛණ්ඩව දෙවන වරට වීම කැපී පෙනෙනවා.

Qualifier 1 තරගය ජය ගැනීම සදහා කිංග්ස් කණ්ඩායමට ලකුණු 189ක දැවැන්ත ඉලක්කයක් හිමි කර දීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණේ ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 5ක් දැවී ලකුණු 188ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 121ක සබදතාවයක් පිහිටුවීමට කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක සමත් වූ අතර, එය මෙවර තරග වාරයේ දී ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ හොදම සබදතාවයයි.

එමෙන්ම එල්.පී.එල් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල සදහා ගොඩ නැගුණු හොදම සබදතාවය වන්නේ ද එයයි. තවද එල්.පී.එල් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ දෙවන හොදම සබදතාවය ලෙස ද එය වාර්තා අතරට එක් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 85ක් පන්දු 53කින් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමගින්.

මෙවර තරග වාරයේ දී ලකුණු 288ක් ලබා ගෙන ඇති ඔහු, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට ද මේ වන විට සමත්ව සිටිනවා.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් රැස් කළ අතර, නායක භානුක රාජපක්ෂ පන්දු 15කින් ලකුණු 25ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී වහබ් රියාස් හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්තා. තිසර අද දිනයේ දී සිය 20යි 20 ක්‍රිකට් දිවියේ 250 වැනි කඩුල්ල දවා ගැනීම ද විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 16.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 59ක් හා වනිදු හසරංග ලකුණු 29ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

විශිෂ්ඨ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් නුවන් තුෂාර ලකුණු 13කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

එය මෙවර තරග වාරයේ පන්දු යවන්නෙකු වාර්තා කළ දෙවන හොදම පන්දු යැවීමයි.

මෙම තරගයෙන් පරාජයට පත් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අගහරුවාදා(21) දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන 23 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් තරග වදිනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...