පවෙල්ගේ සුපිරි ප්‍රහාරය අපතේ යයි ; තිසර හා අවිශ්කගේ හයේ වැස්ස කිංග්ස් පිලට ජය ගෙනෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 14ක තියුණු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවත්, හයේ පහර සංදර්ශනයක් කණ්ඩායම් දෙකෙන්ම දැක බලා ගැනීමේ අවස්ථාව මෙම තරගයේ දී ප්‍රේක්ෂකයින්ට උදා වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ වොරියර්ස් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා ඉනිමට තෙවැනි පන්දුවාරයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව තරගය තාවකාලිකව නතර කිරීමට සිදු වූ අතර, පසුව එක් ඉනිමක් පන්දුවාර 14කට සීමා කරමින් තරගය යළි ආරම්භ වුණා.

ජැෆ්නා කිංග්ස් ඉනිමේ තෙවැනි කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරා පන්දු 33කින් ගොඩ නැගූ සබදතාවය ලකුණු 105ක්.

අවිශ්ක පන්දු 23කින් ලකුණු 53ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් ඇතුළත් වූ අතර, තිලකරන්න සම්පත් යොමු කළ පන්දුවාරයකට හයේ පහර 5ක් අඛණ්ඩව එල්ල කිරීමට ද අවිශ්ක සමත් වීම කැපී පෙනුණා.

තිසර පන්දු 21කින් ලකුණු 53ක් රැස් කළා. හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුළත්.

චතුරංග ද සිල්වා ලකුණු 21ක් ද, ෂොයිබ් මලික් නොදැවී ලකුණු 16ක් ද රැස් කළා.

නියමිත පන්දුවාර 14 අවසානයේ දී කිංග්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 181ක්.

පන්දු යැවීමේ දී ශිරාස් අහ්මඩ් ලකුණු 22කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ජයග්‍රහනය සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වූ ඉලක්කය ලකුණු 181ක්.

කෙසේ වෙතත්, පන්දුවාර 14 තුළ දී කඩුලු 5ක් දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.

ආරම්භක කඩුල්ල සදහා චරිත් අසලංක හා කෙනාර් ලුවිස් අතර ලකුණු 64ක සබදතාවයක් ගොඩ නැගුණා.

අසලංක පන්දු 19කින් වේගවත් ලකුණු 42ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.

අනතුරුව පිටියට පිවිසි රොව්මන් පවෙල් කිංග්ස් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළා.

පන්දු 19කින් ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 61ක්. ඔහු සිය අර්ධ ශතකය පන්දු 15කින් වාර්තා කළ අතර, එය වාර්තා අතරට එක් වුණේ එල්.පී.එල් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

ඔහුගේ ඉනිම හයේ පහර 7කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස පවෙල් දැවී යාමත් සමග කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ ජයග්‍රහනයේ බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් ගිලිහී ගියා.

කෙනාර් ලුවිස් ලකුණු 41ක් ලබා ගත් අතර, කමිදු මෙන්ඩිස් ලකුණු 9යි.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 2ක් ද, සුරංග ලක්මාල් හා චතුරංග ද සිල්වා එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

වනිදු හසරංග යොමු කළ පන්දුවාර 3 තුළදී ප්‍රතිවාදීන් ලකුණු 47ක් රැස් කිරීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...