“අපි අපේ හොඳම ක්‍රිකට් සෙල්ලම් කරේ නැහැ” : මහ්මුදුල්ලාහ්

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ(17) ආරම්භ වුණේ තරගාවලියේ පළමු පෙරළිය ස්කොට්ලන්ත කණ්ඩායමෙන් වාර්තා කරමින්.

ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ මෑතක දී 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළ දක්ෂතා දක්වමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමයි.

මෙම තරගයේ දී බංග්ලාදේශ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය තරගයෙන් ඔවුන් පරාජයට පත් වීමට බෙහෙවින් බලපානු ලැබුවා.

මෑතකදී බංග්ලාදේශය විසින් සිය රටේ දී නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව තරග 5 බැගින් යුත් 20යි 20 තරගාවලි දෙකකදී පහසුවෙන් පරාජයට පත් කළා.

කෙසේ වෙතත්, එම තරග සදහා යොදා ගත් තණතීරුවට බොහෝ පාර්ශවවලින් විවේචන එල්ල වුණේ පන්දු යවන්නන්ට පමණක් යෝග්‍ය ආකාරයෙන් එම තණතීරු සකසා තිබීම හේතුවෙන්.

එම තරගාවලියන් ද්විත්වයේ දී ම අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වූ අතර, පිතිකරුවන්ට හොදින් පන්දුවට පහර දෙමින් ලෝක කුසලානය වෙනුවෙන් මනා පෙරහුරුවක් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය එක් අවස්ථාවක කඩුලු 6ක් දැවී ලකුණු 53 ක් පමණක් ලබා සිටි අවස්ථාවේදී බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ මෙම තරගයෙන් බංග්ලාදේශය පහසු ජයක් වාර්තා කරනු ඇති බවයි.

කෙසේ වෙතත් අනතුරුව ස්කොට්ලන්ත පසුපෙළ පිතිකරුවන් සිය කණ්ඩායම ලකුණු 140ක් දක්වා රැගෙන යාමට සමත් වුණා.

මෙම තරගයට පෙර එම තණතීරුවේ දී ම පැවති මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ දී පැපුවා නිව් ගිනියාව ලබා දුන් ලකුණු 130ක ඉලක්කය පන්දුවාර 13.4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී පහසුවෙන් පසුකර යාමට ඕමානය සමත් වූ බැවින් ලකුණු 141ක ඉලක්කය ද බංග්ලාදේශය සපුරා ගනු ඇති බවට බොහෝ දෙනෙකු විශ්වාසය පළ කළා.

කෙසේ වෙතත් ස්කොට්ලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හා බංග්ලාදේශ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් මෙම තරගයෙන් ස්කොට්ලන්තයට ලකුණු හයක තියුණු ජයක් හිමි වුණා.

තරගයෙන් අනතුරුවව බංග්ලාදේශ නායක මහමුදුල්ලාහ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගයේදී සිය හොදම දක්ෂතාවල නිරත නොවූ බවයි.

“අපේ හොඳම ක්‍රිකට් අපිට සෙල්ලම් කරන්න බැරි වුණා. මට හිතෙනවා අපිට අපේ හොඳම ක්‍රිකට් ක්‍රීඩා කරන්න තිබුණා නම්, එය වෙනස් කතාවක් වෙන්නට ඉඩ තිබුණා.” යනුවෙන් බංග්ලාදේශ නායකයා සදහන් කළා.

“ඉදිරියට එන තරඟවලදී අපි අපේ හොඳම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වග බලා ගත යුතුයි. අපි අපේ වැරදි හදාගන්නේ නැත්නම් හා එය නැවත නැවත කරොත්, එයින් අපට යහපතක් සිදු නොවේවි.”

හෙට දිනයේ දී සම සත්කාරක ඕමානයට එරෙහිව බංග්ලාදේශය තරග බිමට පිවිසීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...